Saturday, February 21, 2015

තිමිර 06

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 


සරසවි එකේ පොත් රාක්ක පීරමින් මම හෙව්වේ ඒ කවි පොත. ඒත් එක පාරටම මගෙ කන ළඟින් ඇහුණ සද්දෙන් මම ගැස්සුණා.

"මොකද කරන්නෙ? අදත් කාගෙහරි පොතක් හොරකම් කරනවද? නැත්තම් කාගෙහරි දතක් ගලවනවද?"

මම පුදුමෙනුත් පුදුමෙට පත් වුණා. ඒ කවුද කියලා අඳුරගන්න හැරෙන්න ඕනේ වුණේ නැහැ මට. පුදුමේ කියන්නේ එදා ශාලි ගේ දත ගලවන්න ගියපු දවසේ එයා මාව අඳුරගත්තේ නැහැ වගේ හිටපු එක නේ. ඒත් මෙයා එදත් මාව අඳුරගෙන ඒ කියන්නේ.

"දත් ගලවන්නේ මම නෙවෙයි  නේ. දත් දොස්තර ඔයා නේ." මම එහෙම කිව්වා නෙවෙයි කියවුණා. මටත් පුදුමයි එහෙම දෙයක් මගේ කටෙන් පිටවෙච්ච එක ගැන.

ඒත් ඉතින් මෙයා ගැන මගේ හිතේ තිබ්බේ එසේ මෙසේ කේන්තියකුත් නෙවෙයි. එදා මුලින්ම මෙයාව දැකපු දවසේ මෙයා හැසිරුණේ හරියට මම එයාගේ මහලොකු පොත හොරකම් කරන්න හැදුවා වගේ නේ.

"ඒකත් ඇත්ත. මම නේ දත් දොස්තර. මේ ඒක නෙවෙයි. එදා මුල්ම දවසේ මම ඔයාට ටිකක් සැරට කතා කලා නේ. එකට මගෙත් එක්ක තරහද?" එයා මම හිතපු දේ එක පාරටම ඇහුවේ කොහොමද? ඒත් මම නම් කීයටවත් සෙකන්ඩ් වෙන්න නරකයි. මම එදා හැදුවේ උදව්වක් කරන්න. ඒත් එදා මගේ ඇඟට කඩන් පැනල දැන් එනවා මෙතන මම තරහද අහන්න.

"තරහ වෙන්න අපි යාලු වෙලා හිටියේ නැහැ නේ." මම කිව්වේ තරහ වැඩි කමටමයි. කිසි ගාණක් නැතුව ඒක මගෙන් අහපු හැටි.

"ඒකත් ඇත්ත. අපි මීට කලින් හම්බ වෙලා නැද්ද කොහෙද? ඒත් මට එදා පොඩ්ඩක් තරහ ගිහින් හිටියේ. ඒ නිසයි මම සැරට කතා කලේ. ඒකට මට සමාව දෙනවා නේද?"

ඒ පාර සමාව දෙන්නලු. මොකද මගේ ඇඟේ කෑල්ලක් යන එකක්යැ. ඔන්න ඔහේ දීල දානවා.

"හරි ඒකෙ ප්‍රශ්නයක් නැහැ." මම කිව්වා. දැන් මට ඕනේ මෙතනින් කොහොමහරි ගැලවිලා යන්න. ඒත් මෙයා නම් යන්නේ නැති පාටයි ලේසියෙන්.

"මෙච්චර වෙලා කතා කලාට මම ඔයාගේ නම වත් ඇහුවේ නැනේ. මම ශෂික. ශෂික සේනානායක. රස්සාව නම් ඔයා දන්නවනේ." ඒ පාර අතට අත දෙන්න අතත් දික් කරන් ඉන්නවා. අද නම් මෙයාගෙන් ගැලවීමක් නැති  පාටයි.

"මම රන්දි" එහෙම කියලා මම අතට අත දුන්නා. "මට පරක්කු වෙනවා දැන්. රෑ වෙන්න කලින් යන්නත් ඕනේ." මම එහෙම කිව්වේ  ඉක්මනට මෙතනින් ගැලවෙන බලාපොරොත්තුවෙන්.

"ඔව් මයි. දැන් නම් රෑ වෙන්නත් ආවා නේද? හරි එහෙනම් ඔයා යන්න. අපි ආයේ හම්බ වෙයි නේ." එයා එහෙම කිව්වට මට නම් ආයේ එයාව හම්බ වෙන්න කිසිම ඕනේ කමක් තිබ්බේ නැහැ. ඒත් මම "හරි  එහෙනම් මම යන්නම්" කියල එතනින් එන්න ආවා.

ඇති යන්තම්. ඔයින් ගැලවුණා මදැයි. එදා ඇඟට කඩන් පැන්නට මොකද කියවන්න ගියාම නම් කතුරක් වගේ. ඕවා හිත හිත දන්නෙම නැතුව ගෙදරටත් ඇවිත්. එයාව හම්බ වෙලා කතා කර කර හිටපු එකෙන් මට වුණේ ගන්න ගියපු පොතත් ගන්න අමතක වුන එක.

ඊළඟ දවසේ උදේ ඔෆිස් එනකොට වාසල මල්ලි සනීප වෙලා අපහු ඔෆිස් ඇවිත් හිටියා. ඒක නම් හොඳ දෙයක්. දැන් වත් අසයින්මන්ට් එක පටන් ගන්න ඕනේ. වාසල මල්ලිටත් ඇවිදින්න එහෙම අපහසුවක් නැහැ කියපු නිසා අපි දෙන්නත් එක්ක අර වලව්වේ එඩ්රස් එකේ තිබුන කන්දවත්ත කියන පැත්තේ පොඩි රවුමක් දාලා විස්තර ටිකක් හොයලා බලන්න තීරණය කළා.

"වාසල අපි කොයිකටත් පියසේන අංකල් ගෙන් අහල බැලුවොත් හොඳයි නේද?"

මම එහෙම ඇහුවේ සාමාන්‍යයෙන් ගම්‍ වල මිනිස්සු ඔය යටගියපු දේවල් ආපහු අවුස්සලා බලනවට අකමැති නිසයි. වාසල මල්ලිත් ඒකට එකඟ වුණා. 

"පියසේන අංකල්, අපි කන්දවත්ත පැත්තේ ගිහින් අර වලව්ව ගැන විස්තර ටිකක් හොයල බැලුවට කමක් නැද්ද?"

"ඒක නම් එච්චර හොඳ වැඩක් කියල මම හිතන්නේ නැහැ රන්දි මිස්. ඔය වලව්ව ඉස්සර බොහොම සරු සාරෙට තිබුණා. හාමු මහත්තයා නැති වුණ දවසේ ඉදන් ඔය  උස්මහත් කරන්න ලොකු මැණිකේ කොච්චර දුකක් වින්දද? ඒත් බාල දුව සඳා මැණිකේ හිතුවක්කාරෙට කසාදයක් කරගෙන ගියාට පස්සේ තමයි ඔය වලව්වට කණ කොකා ඇඬුවේ. ඉතින් මොනවා වුනත් ගමේ මිනිස්සු තාමත් ලොකු මැණිකේට ගරු කරනවා. ඉතින් එහෙම විස්තර හොයල බලනවට ගමේ අය නම් කැමති වෙන එකක් නැහැ."

එහෙනම් ඉතින් මොනවා කරන්නද? දැන් ඉතින් මොකද කරන්නේ?

"රන්දි අක්කේ මට හොඳ අයිඩියා එකක් ආවා. අපි කොහොමත් ඔය ෆොටෝ ශුට් වලට ලොකේෂන් බලන්න නිතරම එහෙ මෙහෙ යනවනේ. එහෙම යන ගමනක් වගේ අපි ඔය පැත්තට යමු. ගිහින් නිකන් විස්තර ටිකක් හොයාගෙන එමු." වාසල මල්ලිගේ අදහස නම් හොඳයි වගේ. පියසේන අන්කලුත් ඒ අදහසට එකඟ වුණා. 

"එහෙනම් පියසේන අන්කල් කියන්නකෝ බලන්න ඒ වලව්ව ගැන විස්තර ටිකක්." මම එහෙම කිව්වේ කොයිකටත් එහෙ පසුබිම දැනගෙන යන එක හොඳ නිසයි. 

"ඔය ගල්කන්ද වලව්වේ ලොකු හාමුයි ලොකු මැණිකෙයි තමයි මුලින්ම හිටියේ. එයාලට දරුවෝ තුන් දෙනෙක් හිටියා. පුතාල දෙන්නයි දුවයි. දුව සඳා මැණිකේ  තමයි බාලම. සඳා මැණිකේට අවුරුදු තුනක් විතර වෙද්දී හාමු මහත්තයට පපුවේ අමාරුවක් හැදිලා නැති වුණා. ඊට පස්සේ ලොකු මැණිකේ තමයි ඔය දරුවෝ තුන් දෙනාව බලාගත්තේ."

" කොහොමහරි ඔය දරුවෝ තුන් දෙනා ලොකු මහත් වුණාට පස්සේ තමයි ඔය වලව්වේ නරක කාලේ ලැබුවේ. ඒ දවස් වල මම අනුරාධපුරේ මාමලාගේ ගෙදර වෙලා හිටපු නිසා වැඩි විස්තරයක් හරියටම දන්නේ නැහැ. ආරංචි වුණ විදියට නම් සඳා මැණිකේ දුනුගම වලව්වට තීන්දු වෙලා තියෙද්දීම කවුද ඉලන්දාරියෙක් එක්ක පැනල ගිහින් ලු. ඒක ආරංචි වෙලා සඳා මැණිකේගේ ලොකු අයියා, ඒ කියන්නේ ලොකු නිලමේ ඒ දෙන්නවම හොයන ගිහින් ඒ ඉලන්දාරියට වෙඩි තියල ඇවිත්ලු. ඒ ඉලන්දාරියත් වලව්වක නොවුණට යමක් කමක් තියෙන පවුලක කෙනෙක් නිසා ලොකු නිලමේට නඩු දාල තිබුණා. ලොකු නිලමේට වන්දියකුත් ගෙවන්න වුණා කියලයි ආරංචි වුණේ. ඔය සිද්දියෙන් පස්සේ ලොකු නිලමෙයි, පොඩි නිලමෙයි පවුල් පිටින්ම රට ගියාලු. ලොකු මැණිකේට යන්න අඬ ගැහුවට ගියේ නැතිලු. දැන් වලව්වේ ඉන්නේ ලොකු මැණිකෙයි, එයාව බලාගන්න ඉන්න පබිලිනයි, වත්තේ වැඩ කරන අප්පුයි. ඒ තුන් දෙනාම දැන් බොහොම වයසට ගියපු උදවිය."

ඒකත් හරියට චිත්‍රපටි කතාවක් වගේ. "එතකොට සඳා මැණිකේට මොකද්ද වුණේ?" මම එහෙම ඇහුවේ එයා නිසා එච්චර විනාසයක් වෙලත් නිකමටවත් තමන්ගේ අම්මව බලන්න ඊට පස්සේ ආවේ නැද්ද කියල දැනගන්න ඕනේ වුණ නිසයි. 

"සඳා මැණිකේට නම් මොනවා වුණාද දන්නේ නැහැ රන්දි මිස්. ඊට පස්සේ ආරංචියක් නැහැ. ඔය වලව්වේ නිලමෙලා ඔක්කොම මහා සැර පරුෂ මිනිස්සු. සඳා මැණිකේ ඔතනින් ගැලවිලා ගියපු එකමයි හොඳ."

ඒ කතාව ඇහුවට පස්සේ මම හිතුවේ මොකක් වුනත් මේ ආටිකල් එඅ නම් නියමෙට කරන්න ඕනේ කියලයි. සඳා මැණිකේට එයාගේ අම්මව මුණ ගස්සන්න ලැබුණොත් කොච්චර හොඳද?

පියසේන අන්කල්ට ගොඩක් ස්තුති කරලා මමයි වාසල මල්ලියි කන්දෙවත්තට යන්න පිටත් වුණා. 

ඒ වෙලාවේ පාරේ එච්චර ට්‍රැෆික් එකකුත් තිබුනේ නැති නිසා අපිට විනාඩි හතලිස් පහකින් විතර කන්දෙවත්තට එන්න පුළුවන් වුණා. හරිම ලස්සන වටපිටාවක්. හරිම සන්සුන් ගමක්. ගමට ආපු ගමන්ම මට දැනුනේ හරිම හුරුපුරුදු ගතියක්. ඒ ඇයි කියලනම් මට තේරුනේ නැහැ. 

"පුදුම ලස්සන පැත්තක් නේද රන්දි අක්කේ?" වාසල මල්ලි ඇහුවේ වාහනෙන් බැහැල වටපිටාව දිහා බලන ගමන්. 

"ඒක නම් ඇත්ත මල්ලි. ෆොටෝ ෂූට් එකකටත් කියාපු පැත්ත." මම කිව්වේ ඒ ලස්සනින් මම වශී වෙලා හිටපු නිසයි. 

"අපි මොනවහරි බීලම ඇවිදින්න පටන් ගමු නේද රන්දි අක්කේ. මට නම් හරිම තිබහයි" වාසල මල්ලි එහෙම කිව්වම මටත් හිතුනේ ඒක හොඳ අදහසක් කියල.එතන තිබ්බ කඩේට ගොඩ වුණේ ගමේ අයත් එක්ක ටිකක් කතා බහ කරලා විස්තර ටිකක් හොයාගන්නත් පුළුවන් නිසයි. අපි දෙන්නා බීම දෙකකුත් අරන් එතන තිබ්බ පුටු දෙකේ වාඩි වුණා. 

"මහත්තයල මේ පළාතේ නෙවෙයි නේද?" කඩේ මුදලාලි එහෙම ඇහුවේ අපි දෙන්න දිහා බලල. 

"නෑ මුදලාලි. අපි "සිතුවිලි" පත්තරෙන්. අපි මේ ෆොටෝ වගයක් ගන්න හොඳ තැනක් බලන්න කියල ආවේ."වාසල මල්ලි එහෙම කිව්වා. 

"ඒ වගේ දේකට අපේ ගම පත්තරේ වැටෙන එක කොච්චර හොඳද මහත්තයෝ. අපේ ගම ගැන පත්තරේ ගිහින් තියෙන්නේ නරක දේවල්මනේ." 

"මොනවද මුදලාලි නරක දේවල් කිව්වේ?" වාසල මල්ලි එහෙම ඇහුවේ ප්‍රශ්නාර්ථයක් මුණේ රඳවගෙන. 

"ඇයි මහත්තයල අහල නැද්ද ගල්කන්ද වලව්වේ කතන්දරේ?" මුදලාලි එහෙම  අහද්දී අපි දෙන්නම මුණෙන් මුණ බලා ගත්තා. 


මතු සම්බන්ධයි... 

Tuesday, February 17, 2015

තිමිර 05

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04

ඔව්... ඒ එයාම තමයි... දැකලා තියෙන්නේ එකම එක පාරක් විතරක් වුණාට මට එයාව එහෙම මතක හිටලා තිබුණේ මොන හේතුවකටද මන්දා.. 

"ඔයාගේ යාළුවා නම් තාමත් බය වෙලා වගේ" මම පියවි සිහියට ආවෙ ඒ කටහඬින්. එතකොට තමයි මට මතක් වුණේ මම මෙච්චර වෙලා එයා දිහා කන්න වගේ බලන් ඉඳලා කියලා. ඒත් එයා නම් මාව අඳුරගත්ත පාටක් පේන්න තිබ්බේ නැහැ. ඉතින් මම එතනින් වාඩි වුණා. 

"ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඉන්ජක්ෂන් එක දෙනකොට නම් කූඹියෙක් කනවා වගේ දැනෙයි. ඊට පස්සෙ නම් පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ." එයා කිව්වා. ඊට පස්සෙ නම් ශාලිගෙත් බය නැති වෙලා වගේ. එයාත් සද්ද නැතුව හිටියා දත ගලවනකම්. බෙහෙතුත් ලියලා දුන්නට පස්සෙ අපි එන්න ආවා. 

"එහෙනම් ඩොක්ට, අපි ගිහිල්ල එන්නම්." පුළුන් කෑල්ලක් කටේ  ඔබාගෙන හිටපු නිසා ශාලිට කතා කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒක කියන්න වුණෙත් මට. 

"හරි හරි... මොනවහරි ප්‍රශ්නයක් වුණොත් ආයෙමත් එන්නකෝ."

එයා එහෙම කිව්වට මට නම් ආයෙ කිසිම ඕනෙකමක් තිබ්බෙ නැහැ එතනට ඉන්න. එතන ඉන්න දොස්තර එයා කියලා දන්නවනම් මම ශාලිව එතනට එක්ක යන්නෙත් නැහැ. ඒත් දැන් ඒක වෙලා ඉවරයි නේ. 

ශාලිව ආපහු ඔෆිස් එකට එක්ක එනකොට දවල් වෙලා. තවත් කල් දාන්නෙ නැතුව අසයින්මන්ට් එක පටන් ගන්න ඕනේ කියලා හිතුනේ ඒ වෙලාවේ.  නැත්තම් බොස් ආපහු අසයින්මන්ට් එක ඉල්ලනකොට තමයි මට තරු පේන්නේ. 

එදා ෆයිල් එකේ තිබ්බ ඇඩ්‍රස් එක ගැන තවත් විස්තර හොයලා බලන්න ඕනෙ. අපේ ඔෆිස් එකේ වැඩ කරන පියසේන අංකල් කුරුණෑගල පැත්තේ. එයාගෙන් අහලා බලන්න ඕනෙ. 

"පියසේන අංකල්, ඔයාලාගෙ පැත්තෙ තියෙනවද ගල් කන්ද වලව්ව කියලා එකක්?" 

"ඔව් රන්දි මිස්. අපරාදේ ඒ වලව්ව නම්. දැන් ඉන්නේ වයසක උන්දෑ විතරයි. අපරාදේ නැති නාස්ති වෙලා ගියා ඒ වලව්ව." 

"මට ඒ වලව්ව ගැන විස්තර වගයක් ඕනෙ වෙලා තියෙනවා ආටිකල් එකකට.. පුළුවන්ද ඒ විස්තර හොයාගන්න මට උදව් කරන්න?" 

"අපොයි පුළුවන් රන්දි මිස්. මම උදව් කරන්නම්කෝ." පියසේන අංකල් එහෙම් කිව්වම නම් මට පුදුම සතුටක් දැනුනා. එහෙනම් ඒ වැඩේ මම හිතන තරම් අමාරු වෙන එකක් නැහැ.

හවස යන ගමන් සරසවි එකට ගොඩ වැදුණේ පොතක් ගන්න හිතාගෙන. යාළුවෙක්ගේ කවි පොතක්. පොත එළි දැක්වීමේ උත්සවේටත් යන්න් බැරි වුණ නිසා ඒ පොත ගන්නම ඕනෙ.

සරසවි එකේ පොත් රාක්ක පීරමින් මම හෙව්වේ ඒ කවි පොත. ඒත් එක පාරටම මගෙ කන ළඟින් ඇහුණ සද්දෙන් මම ගැස්සුණා. 

"මොකද කරන්නෙ? අදත් කාගෙහරි පොතක් හොරකම් කරනවද? නැත්තම් කාගෙහරි දතක් ගලවනවද?"


මතු සම්බන්ධයි...