Friday, April 3, 2015

තිමිර 07

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
"ඇයි මහත්තයල අහල නැද්ද ගල්කන්ද වලව්වේ කතන්දරේ?" මුදලාලි එහෙම  අහද්දී අපි දෙන්නම මුණෙන් මුණ බලා ගත්තා. 

"නෑනේ මුදලාලි. මොකද්ද ඒ කතාව?" වාසල මල්ලි එහෙම ඇහුවෙ අපිට ඕනෙ පොයින්ට් එකට කිසිම උත්සහයකින් තොරව එන්න ලැබුණ නිසා ඇතිවෙච්ච සතුටකුත් එක්ක බව මට තේරුණා. 

"ඔය වලව්වෙ බාල දුව වෙච්ච සඳා මැණිකේ ඉලන්දාරියෙක් එක්ක පැනලා ගියාට පස්සෙ ලොකු නිලමේ ඒ ඉලන්දාරියව හොයන් ගිහින් වෙඩි තිබ්බ නොවැ. ඒ දවස් වල සෑහෙන්න කතා ගොඩක් ගියා ඒ ගැන මේ පත්තරවල." මුදලාලි කිව්වෙ හරියට මේ ඒ කතාව ලෝකෙ හැමෝම දැනගන්න ඕනෙ කතාවක් වගේ. 

"ඒත් මුදලාලි අපි නම් ඔය කතාව අහලා නෑනේ" වාසල මල්ලි ඒක කිව්වෙ බීම එක බීලා බෝතලේ මේසෙ උඩ තියන ගමන්. 

"ඒකත් ඇත්ත මහත්තයා. ඔය දේවල් සිද්ධ වෙන කාලෙ මහත්තයලා ඉපදිලාවත් නැතුව ඇති." මුදලාලි එහෙම කිව්වෙ අපි හය හතර නොතේරෙන පොඩි දරුවෝ කියන්නා වගේ බැල්මකින් අපිට සංග්‍රහ කරන ගමන්. 

"අපි එහෙනම් ගිහින් එන්නම් මුදලාලි" අපි එහෙම කියලා ආපහු එන්න නැගිට්ටා. 

"රන්දි අක්කෙ ඒ මනුස්සයා කියපු විදියට නම් ඒක සෑහෙන්න ප්‍රසිද්ධ කතාවක් වගේ නේද?" වාසල මල්ලි එහෙම කිව්වෙ ගම දිහාවට ඇවිද ගෙන යන ගමන්. 

"ඔව් මල්ලි.. ඒත් ඒ නිසාම අපිට ඒ ගැන විස්තර හොයාගන්න එකත් අමාරු වෙන්න පුළුවන්." මම කිව්වෙ ප්‍රශ්නාර්ථයක් හිතේ රඳවගෙන. 

"ඒ ඇයි අක්කෙ එහෙම කියන්නෙ?" 

"හැමෝම දන්නව කියන්නෙ ඒ කතාවට සෑහෙන්න මොඩිෆිකේෂනුත් එකතු වෙලා ඇති. ඇත්ත කතාව හොයාගන්න එක  සෑහෙන්න අමාරුවෙයි." 

"අක්ක කියන එකෙත් ඇත්තක් තියෙනවා." වාසල මල්ලි මගේ කතාවට එකඟ වුණා. 

ඇත්තටම මේ ගම නම් හරිම ලස්සන ගමක්.  ඈතටම විහිදුණ කුඹුරු යායවල් වගේම ගම වට කරන් හිටපු කඳු පන්ති ටික නිසාත් ගමට තිබුනේ වචනයෙන් කියන්න බැරි තරම් සුන්දරත්වයක්. වාසල මල්ලි නම් කළේ කැමරාවෙන් හතර වටේටම ෆොටෝ ගන්න එක. මමත් හිටියේ මේ සුන්දරත්වයෙන් වශී වෙලා. කවදාවත්ම මේ පළාතට ඇවිත් නැති වුණත් මට දැනුණේ හරිම හුරු පුරුදු ගතියක්. ඒ ඇයි කියන්න හේතුවක් නම් කොච්චර කල්පනා කළත් මට මතක් වුණේ නැහැ. 

වෙලේ වැඩ කර කර හිටපු කිහිප දෙනෙක්ගෙ ෆොටෝ ගන්නත් වාසල මල්ලි අමතක කළේ නැහැ. එයාලට ස්තූති කරල ආපහු ඇවිත් වාසල මල්ලි කිව්වෙ මෙහෙම කතාවක්. 

"අක්කෙ මේ වෙලෙන් එහා පැත්තේ ටිකක් දුර යනකොට ගඟක් තියෙනවලු. හරිම ලස්සනයිලු. පයින් යන්නත් පුළුවන් ලු.. අපිත් ටිකක් ගිහින් බලමුද?" 

"ගොඩක් දුරයිද දන්නෙ නෑ නේද මල්ලි? කමක් නෑ. කොයිකටත් අපි ගිහින් බලමු." අපි යන්න පිටත් වුණා. ටිකක් දුර පයින් ඇවිදගෙන යන්න තිබුණත් අවට පරිසරයේ තිබ්බ සුන්දරත්වය නිසාම මහන්සියක් දැනුණේ නැහැ. 

ගඟ ළඟට ආවම නම් තිබ්බ මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නැහැ. ගල්පර ගොඩක් මැද්දෙන් කිසිම කලබලයක් නැතුව හෙමිහිට ගඟ ගලාගෙන යන විදිය හරිම සුන්දරයි. අපි දෙන්නම හිටියේ මේ සුන්දරත්වයෙන් වශී වෙලා වගේ. ඒ සුන්දරත්වය විඳිමින්ම ගඟ දිගේ පහළට අපි ඇවිදගෙන ගියා. ඒ අතරේ ලස්සන ජායාරූප ගන්නත් වාසල මල්ලි අමතක කළේ නැහැ. 

ඒත් එක පාරටම අහස කලු කරගෙන මහා වැස්සක් සහින්න පටන් ගත්තා. වැස්ස කොහොම පටන් ගත්තද කියලා නම් හිතන්නවත් බැරි තරම් ඉක්මනටයි ඒක සිද්ධ වුණේ. කැමරා ආම්පන්න ටික නම් වාසල මල්ලි දඩි බිඩියෙම මල්ල ඇතුලට ඔබා ගත්තා.

"මෙතන ඉඳලා නම් හරියන්නෙ නෑ අක්කෙ. කැමරා බෑග් එක නම් වෝටර් පෘෆ්. ඒත් අපි දෙන්න අතේ කුඩයක්වත් නෑනේ." 

වාසල මල්ලි එහෙම කිව්වට පේන හරියක ගෙයක්වත් හෙවණක්වත් තිබ්බෙ නැහැ. වෙන කරන්න දෙයක් නැති හින්දම අපි දෙන්න ඉස්සරහට ඇවිදගෙන ගියා. 

"අක්කෙ පේනවද අර අතන නම් ගේට්ටුවක් තියෙනවා. අපි එතනින් ඇතුලට යමු. දැන් පාර පේන්නෙවත් නැති තරමට වහිනවා නේ.."

අපිට වෙන කරන්න දෙයක් තිබ්බෙත් නැහැ. ඒ ගේට්ටුවෙන් ඇතුල් වුණේ ටිකක් පරණ පෙනුමක් තිබ්බ වත්තකට. ටිකක් ඇතුලට යද්දි පරණ වලව්වක් වගේ ගෙයක් පේන්න පටන් ගත්තේ. අපි ඒ ඉස්තෝප්පුවටම ගොඩ වුණා. 


"ගෙදර කවුදෝ? ගෙදර කවුදෝ? වාසල මල්ලි කිහිප වතාවක් හයියෙන් කෑගැහුවත් ගෙදර කිසිම කෙනෙක් ඉන්න පාටක්වත් පේන්න තිබ්බෙ නැහැ. අපි දෙන්නම තෙත බේරි බේරි ඉස්තෝප්පුවෙ හිටගෙන හිටියේ වාඩිවෙන්න වත් විදියක් නැතුව. ඒත් එක පාරටම ගේ ඇතුලේ ඉඳන් ඉස්තෝප්පුවට ආවේ මම කිසිසේත්ම දකින්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නම් නෙවෙයි...

"රන්දි ඔයා මොකද මෙහෙ කරන්නෙ? ඊටත් මේ හොඳටම තෙමිලා?"

මතු සම්බන්ධයි.. 

2 comments:

  1. ශුවර් එකට ශශික තමා. ඊලඟ කොටසත් දැම්ම බලන්න පුලුවන් වුන එක කොච්චර හොඳද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. බැලුව නේද ඊළඟ කොටසත්?

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......