Saturday, April 4, 2015

තිමිර 08

     කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
         තිමිර 01
         තිමිර 02
         තිමිර 03
        තිමිර 04
        තිමිර 05
        තිමිර 06                                                           තිමිර 07


රන්දි ඔයා මොකද මෙහෙ කරන්නෙ? ඊටත් මේ හොඳටම තෙමිලා?”

ඔව්. ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ශශික. එතකොට අපි මේ ඇවිත් තියෙන්න් ශශික ගේ ගෙදරටද? දන්නවනම් එන්නෙත් නැහැ. ඒත් මොනවා කරන්නද දැන්. අපි ඇවිත් ඉවරයි නේ.

“ශශික අපි මේ ෆොටෝ ෂූට්ස් වගේකට ලොකේශන් බලන්න ආපු ගමන්. වැස්සට අහු වෙණා නේ.” මම අනිත් අයට කිව්ව කතාවම මෙයාටත් කිව්වෙ ඇත්ත කතාව දැනගත්තොත් ප්‍රතිචාරෙ මොකක් වේවිද කියලා දන්නේ නැති නිසා. ඊටත් මේ ගෙදරටත් වලව් පෙනුමක් තියෙන්නෙ. කවුද දන්නෙ මේ ගල්කන්ද වලව්වද කියලා.

එතකොටම තවත් ඔසරියක් ඇඳගත්ත මැදි වයසෙ වගේ ගැහැණු කෙනෙක් එළියට ආවා. ශශික ගේ අම්මද කොහෙද.

“කවුද පුතා මේ ගොල්ලෝ?”

“අම්මේ මේ මගේ යාළුවෝ කට්ටියක්. ෆොටෝ ෂූට්ස් වගේකට ලොකේශන් බලන්න ආපු ගමන් වැස්සට අහු වෙලා.” ශශික අම්මට උත්තර දුන්නා.

“අනේ මේ දරුවෝ හොඳටම් තෙමිලා. එන්න දුව ඇතුලට. ඇඳුම් මාරු කරලා ඔලුව පිහදා ගමු. පුතේ මේ පුතාට ඇඳුමක් දෙන්න” ශශිකගේ අම්මා මාව අතින් අල්ලගෙනම ගේ ඇතුලට එක්ක ගියා. මීට කලින් කිසිම දවසක වලව්වක් ඇතුලට ගිහින් තිබ්බෙ නැති වුණාට ඒ අංග සම්පූර්ණ වලව්වක් කියලා අඳුරගන්න මට බැරි වුණේ නම් නැහැ. බොහෝම පැරණි තාලයේ ගෘහ භාණ්ඩ වලින් සාලෙ පිරිලා තිබ්බා. බිත්ති වල ශශිකගේ පරපුරේ මුතුන් මිත්තන්ගේ යැයි සලකන්න පුළුවන් ජායාරූප රැසක් තිබුණා. සාලෙ එක් බිත්තියක් සම්පූර්ණයෙන්ම වගේ වැහිලා තිබ්බෙ වටිනා පෙනුමක් තියෙන සේසත් දෙකකින්.

“දුව ට ඇතිවෙයිද  දන්නෙත් නෑ මේ  ඇඳුම් .” ශශිකගෙ අම්මා කිව්වෙ සායකුත් බ්ලව්ස් එකකුත් මගේ අතට දෙන ගමන්.

“කමක් නෑ ආන්ටි.. මේ ඇඳුම් වේලෙනකල් විතරයි නේ..” මම එහෙම කිව්වෙ ඒ ඇඳුම් අතට ගමන්.

“ඔහොම ඉස්සරහට යන්න දුව. බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න. තුවායක් බාත් රූම් එකේ ඇති.” ශශිකගේ අම්මා එහෙම කියලා ආපහු ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන හිටියා.

“ඇයි ආන්ටි?” මම ඇහුවෙ ටිකක් බයවෙලා වගේ.

“නෑ දුව. මම මේ මතක් කළේ මම දුවව කොහෙදිද දැකලා තියෙන්නේ කියලා” ඇය එහෙම කිව්වට මට නම් එහෙම මතකයක් තිබ්බෙ නැහැ.

“මම මීට කලින් මේ පළාතට ඇවිත් නැහැ ආන්ටි කවදාවත්ම...” මම එහෙම කිව්වෙ ශශිකගේ අම්මව කලින් දැකපු බවක් මට මතක තිබ්බෙ නැති හින්ද.

“හරි දුව.  දැන් ඔයා ගිහින් වොශ් එකක් දාගෙන් එන්නකෝ.” ආන්ටි එහෙම කියාගෙන කාමරෙන් එළියට ගියා.

මඳ රස්නෙ වතුරෙන් නෑවට පස්සෙ ඇඟට දැනුණේ හරිම සැහැල්ලුවක්. ශශිකගේ අම්මා දුන්න සායයි බ්ලව්ස් එකයිත් මට හරියටම ගැලපුණා. මම සාලෙට යනකොට ශශිකයි වාසල මල්ලියි දෙන්නා බර කතාවක්. මමත් ගිහින් සාලෙන් වාඩි වුණා. මේ දෙන්නා කතා කරන්නෙ ෆොටෝග්‍රැෆි ගැන. කතාවෙන් නම් තේරුණේ ශශික සෑහෙන්න ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් කියලා.

“බලන්න ඉතින් රන්දි, අපි ආපහු හම්බ වුණා නේද කොහොමහරි?” ශශික කිව්වෙ කතාව නවත්තලා මගේ පැත්තට හැරෙන ගමන්. ඇත්තම කිව්වොත් මට නම් ශශිකව ආපහු හම්බ වෙන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැහැ. ඒත් අපිට කරදරයක් වෙච්ච වෙලාවේ උදව් කරන්න මෙයාලා හිටපු එක නම් ලොකු පහසුවක් වුණා. දැන් ඉතින් මගේ තරහ පැත්තකට දාලා මෙයා එක්ක කතා කරන්නම වෙනවා.

“ඒක නම් ඇත්ත. ඉතින් ඔයා මොකද අද ගෙදර? ක්ලිනික් එක වහලද?”

“ඔව් රන්දි. මගෙ යාළුවෙක් චිත්‍ර ප්‍රදර්ශනයක් කරනවා. ඉතින් එයාට චිත්‍රයක් ඇඳලා දෙන්න මමත් පොරොන්දු වුණා. පහුගිය දවස් වල වැඩ නිසා ඒක ටිකක් මඟ ඇරුණා. ඉතින් අද ගෙදර නතර වුණේ ඒක ඇඳලා ඉවරයක් කරන්න.”

“අයියට චිත්‍ර අඳින්නත් පුළුවන්ද? ෂා නියමයි නේ. අයියට දත් දොස්තර කෙනෙක් නෙවෙයි වෙන්න තිබුණේ. කලාකාරයෙක්.” වාසල මල්ලි එහෙම කිව්වම මටත් එහෙම හිතුණා.

“ඒ වුණාට මල්ලි අම්මලට ඕනෙ වුණේ මාව දොස්තර කෙනෙක් කරන්න. මෙඩිකල් ෆැකල්ටි යන්න ලකුණු මදි වුණා. ඉතින් මම ඩෙන්ටල් ගිහින් අන්තිමට මෙතන තමයි නතර වුණේ.” ශශිකගේ වදන් අතරෙ හැංගිලා තිබුණේ අපරාදෙ මටත් කලාකාරයෙක් වෙන්න තිබ්බා කියන හැඟීම.

“පුතාලා කෝපි ටිකක් බීලා හිටියොත් හොඳයි නේද?” ශශිකගේ අම්මා ට්‍රේ එකකුත් අරන් සාලෙට එන ගමන් කිව්වා. ඒත් එක පාරටම ඈ ගැස්සිලා නතර වුණේ මාව දැක්කාම.

“සඳා ඔයා?”  

මතු සම්බන්ධයි.... 



6 comments:

  1. දැන් නම් ඉවසන්න බැරියෝ..... ඉක්මනට කතාව ලියන්නෝ.... නියමය් සිතු

    ReplyDelete
    Replies
    1. හරි හරි... මම ඉක්මනටම ලියන්නම්...

      Delete
  2. හොල්මන් කතාවක්ද මන්දා! නිවාඩුත් තියෙන එකේ හෙටම ඊලඟ කොටසත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. හොල්මන් කතාවක් නම් නෙවෙයි.. ලියන්නම්කෝ ඉක්මනටම..

      Delete
  3. කතාව ලියන වේගෙට අපිට කතාව සෑහෙන්න මතකයිලු ඉතින්..

    ReplyDelete
    Replies
    1. සමාව භාජනේක දාලා ඩ්දෙන්න දිනේෂ් අයියේ.... මෙදා පාර නම් ඉක්මනටම කතාව ලියනවා...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......