Monday, April 6, 2015

තිමිර 09

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08

"සඳා? කවුද අම්මෙ සඳා කියන්නේ? මේ ඉන්නේ රන්දි නේ?"  ශශික එහෙම කිව්වෙ අම්මා දිහා බලාගෙන. මමත් බලන් හිටියේ මේ මොනවත් තේරුම් ගන්න බැරුව. 

""හරි පුතේ... ඒ දවස්වල මගෙ හොඳම යාළුවා තමයි සඳා කියන්නේ.. මේ දුව ආයෙත් ඇරපු අතක් නෑ සඳා වගේමයි.. ඒකයි මම එකපාරටම රැවටුණේ..." ශශිකගේ අම්මා එහෙම කිව්වේ අපිට කෝපි අල්ලන ගමන්. 

"ඉතින් ආන්ටි දැන් එයා නැද්ද? එයාට මොකද වුණේ?" මම එහෙම ඇහුවෙ තවත් විස්තර දැන ගන්න අරමුණෙන්. 

"ඒක දිග කතාවක් දුව..." ශශිකගේ අම්මා එහෙම් කිව්වේ දිග සුසුමක් හෙළන ගමන්. 

"ආන්ටිට කරදරයක් නැත්තම් අපි කැමතියි ඒ කතාව අහන්න.." මම එහෙම කිව්වෙ සඳා ගැන තවත් තොරතුරු දැනගන්න ඕනෙ වුණ නිසයි. 

"දුවලා අහලා තියෙනවද ගල්කන්ද වලව්වෙ කතන්දරේ?" ආන්ටි එහෙම ඇහුවම මොකද්ද දෙන උත්තරේ කියලා මට හිතාගන්න බැරි වුණා. 

"කඩේ මුදලාලිනම් එහෙම කතාවක් කිව්වා ආන්ටි.. ඒත් හරියටම කතාව දන්නේ නැහැ." වාසල මල්ලි යන්තම් මැද්දට පැනලා මම පත්වුණ අපහසුතාවයෙන් ගලවගත්තා. 

"ගල්කන්ද වලව්වෙ සඳා මැණිකේ තමයි ඒ දවස්වල මගේ හොඳම යාළුවා. අපි පොඩි කාලේ ඉඳන්ම හැදුනේ වැඩුනේ එකට. ඉස්කෝලේ ගියේ එකට. සඳා නම් දවසෙන් වැඩි හරියක් හිටියේ අපේ ගෙදර." 

"සඳාගේ තාත්තා එයා පොඩි කාලෙදිම නැති වුණා. ඊට පස්සෙ සඳාලගෙ අම්මා තමයි එයාලව බලාගත්තේ. මේ ගමේ ඉඩ කඩම්, වතුපිටි වුණත් වැඩි හරියක් ගල්කන්ද වලව්වට  අයිතියි. ඉතින් එයලට අඟහිඟයක් නම් තිබ්බෙ නැහැ." 

"සඳාට හිටියේ අයියලා දෙන්නෙක්. ඒ අයියලා දෙන්නා නම් පුදුම තරම් නපුරුයි. හැම වෙලේම හිතුවේ ඉඩකඩම්, නම්බුව ගැන. එයාලා ළඟ වැඩ කරපු මිනිස්සුන්ටත් හරිම නපුරු විදියට සැලකුවේ. ගමේ මිනිස්සුන්ට  ඒ දෙන්නා ගැන නම් තිබ්බෙ හොඳ ආකල්පයක් නෙවෙයි." 

"ඒ ලෙවල් වලින් පස්සෙ සඳා කැම්පස් සිලෙක්ට් වුණා. මට නම් යන්න ලකුණු මදි වුණා. ගෑණු ළමයි ඉහළට ඉගෙන ගන්න ඕනේ නෑ කියල කියපු සඳාගෙ අයියලා දෙන්නා නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ සඳා කැම්පස් යනවට. ඒත් අම්මගෙයි, සඳාගෙයි බලකිරීමට අයියලා සඳාව කැම්පස් යවන්න එකඟ වුණා. ගෙදර හිර වෙලා හිටපු සඳාට ඒක ලොකු සහනයක් වුණා. මොකද ඒ දවස්වල සඳාට ගෙදරින් පිට යන්න අවසර තිබ්බෙ ඉස්කෝලෙටයි, අපේ ගෙදරටයි විතරයි." 

"සඳා කැම්පස් ගියාට පස්සේ අපේ ආශ්‍රය ගොඩක් දුරස් වුණා. එයා සති අන්තෙට වත් ගෙදර ආවෙ නැහැ. පාඩම් කරන්න තියෙනවා කියලයි එයා එහේ නතර වුණේ. ඒත් ඇත්තම් හේතුව නම් එයාට නිදහසේ ඉන්න ඕනෙ වෙන්න ඇති. "

"සඳා කැම්පස් එකේ කොල්ලෙක් එක්ක යාළු වෙලා කියලා සඳාගේ අයියට කියලා තිබ්බෙ නුවර ඉන්න එයාලාගේ මාමා කෙනෙක්. සඳාගෙ ලොකු අයියා එච්චර කේන්ති අරන් ඉන්න දවසක් නම් මම ජීවිතේට දැකලා තිබ්බෙ නැහැ. කෙළින්ම පේරාදෙණියට ගිහින් සඳාව ආපහු එක්ක ආව. ඊට පස්සෙ සඳාට ගෙයින් එළියට වත් බහින්න දුන්නෙ නැහැ. මටත් සඳාව මුණගැහෙන එක තහනම් කළා එයාට ඕවට උල්පන්දම් දෙන්නෙ මමයි කියලා. ඒත් ඇත්තටම මමත් ඒ හැටි විස්තරයක් දැනගෙන හිටියේ නැහැ ඒ දවස්වල. "

"ඊට පස්සෙ සඳාගෙ ලොකු අයියා කළේ සඳාට මඟුල් හොයපු එක." ඒත් ඒ එක යෝජනාවකට වත් සඳාගෙන් කැමැත්ත ඇහුවෙ නැහැ. දේපළයි, නම්බුවයි විතරමයි බැලුවෙ. එයාලා කියන දේකට සඳා කැමති වෙන්න ඕනෙ කියන මතයේ තමයි සඳාගෙ අයියලා හිටියෙ." 

"සඳාව දුනුවිල වලව්වට තීන්දු වෙලා කියලා මට කිව්වෙ අපේ අම්මා. මට ආවෙ පුදුම දුකක්. ඒත් සඳාව සනසවන්න වත් එයාව මුණගැහෙන්න මට පුළුවන් කමක් තිබ්බෙ නැහැ. සඳාගේ අයියලා ඒකත් තහනම් කරලයි තිබ්බෙ. "

"ඒත් ඊට පස්සෙ ආරංචි වුණ දෙයින් අපි හැමෝම පුදුම වුණා. මංගල්ලෙට සතියක් තියලා සඳා එයා යාළු වෙලා හිටපු කොල්ලත් එක්ක පැනලා ගිහින් තිබ්බා. මේක දැනගත්ත වෙලාවෙ ඉඳන් සඳාගෙ ලොකු අයියා හිටියෙ වෙඩි කාපු ඌරෙක් වගේ. එයාට තිබ්බ සම්බන්ධකම් වලින් ඒ පිරිමි ළමයගේ ගෙදර හොයාගෙන ගිහින් අයියා ඒ පිරිමි ළමයට වෙඩි තියලා ඇවිත් තිබුණා." 

"ඒත් ඒ පිරිමි ළමයත් යමක් කමක් තිබ්බ පවුලක. ඒ ගෙදර අය ලොකු අයියට නඩු දාලා තිබ්බා. අන්තිමට ලොකු අයියට වන්දියකුත් ගෙවන්න් වුණා. අයියලා සඳාට මහගෙදර එන එක තහනම් කළා. ඒත් ඒ හැමදේකින්ම තැලුනේ සඳාගේ අම්මා. එයාට සඳාව බලන්න යන්නවත් අවසර දුන්නේ නැහැ පුතාලා දෙන්නා."

"ඊට පස්සෙ සඳා ගැන ආරංචියක් ලැබුණේ නැහැ. අයියල දෙන්නත් හරිම හිතේ අමාරුවෙන් හිටියේ වලව්වෙ නම කැත වුණා කියලා. පස්සෙ කාලෙක එයාලා පවුල් පිටින්ම රට ගියා. අම්මටත් අඬගැහුවට අම්මා කැමති වුනේ නැහැ රට යන්න." 

"අන්තිමට තනිවුණේ සඳාගෙ අම්මා. ජීවිත කාලෙම දරුවො වෙනුවෙන් කැපවෙච්ච එයා අද පාලු වලව්වක තනියම. මමත් ඉඳල හිටලා වලව්වට ගිහින් කතා බහ කරලා එනවා. ඒත් මාව දැක්කම සඳා මතක් වෙනවා කියන නිසා මම යන්නෙත් අඩුවෙන්." 


ශශිකගේ අම්මා කතාව අවසන් කරලා දිග සුසුමක් හෙලුවා. අපි තුන්දෙනාම හිටියේ ඈත ලෝකෙක අතරමං වෙලා වගේ. 

"සඳා කවදාවත්ම ආපහු අම්මව බලන්න ආවෙ නැද්ද?" මම එහෙම ඇහුවෙ කතාවෙන් පස්සෙ මගේ හිත බර වෙලා තිබුණ නිසා. 

"සඳා නම් කීප සැරයක්ම ආවා. ඒත් අයියලා එයාට අම්මව බලන්න අවසර දුන්නෙ නැහැ. අයියලා රට ගියේ ගිය අවුරුද්දෙ. සඳා දන්නෙ නැතුව ඇති අයියලා දැන් ලංකාවෙ නැහැ කියලා. දන්නවනම් නෑවිත් ඉන්නෙ නැහැ. ඒත් පණිවිඩයක් දෙන්නවත් සඳා ඉන්න තැනක් අපි දන්නෙ නැහැ." ශශිකගේ අම්මා එහෙම කිව්වා. 

ඊට පස්සෙ අපි හැමෝම කතාවක් නැතුව කල්පනා කර කර හිටියේ ඊට පස්සෙ සඳාට මොනවා වෙන්න ඇත්ද? කියන ප්‍රශ්නෙ හැමෝගෙම හිතේ රැඳිලා තිබ්බ නිසා වෙන්න ඇති. 

සාලෙ ඔරලෝසුවේ දවල් දොළහ වදින සද්දෙනුයි අපි ආපහු පියවි ලෝකෙට ආවෙ. "ශශිකගේ අම්මා පුටුවෙ නැගිට්ටෙ හරිම කලබලෙන්. 

"දන්නෙම නැතුව දවල් වෙලත් එක්ක. දුව අපි එහෙනම් කෑම ටිකක් කාලම ඉමු නේද?" 

වාසල මල්ලියි, මමයි මූණෙන් මූණ බලාගත්තෙ මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව. අපි මෙච්චර වෙලා ඉන්න බලාපොරොත්තු වුණේ නෑනේ. ඒත් කතාවත් එක්කම වෙලාවත් ගෙවිලා ගිහින්. ආන්ටිගෙ හිත රිද්දන්නත් බැරි නිසාම ඒ යෝජනාවට එකඟ වුණා. 

මතු සම්බන්ධයි... 




10 comments:

  1. 7යි 8යිත් අදයි කියෙව්වේ.. බලමුකෝ මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම අනිත් කොටස් ටිකත් දාන්නම්කෝ...

      Delete
  2. බලමුකෝ නේද.... මට නිකන් ලාවට වගේ හිතෙනවා දෙයක්.. බලමු හරියයදා කියල...

    ReplyDelete
    Replies
    1. බලමු බලමු... ඔයා හිතපු දේ හරි යයිද කියලා...

      Delete
  3. කතාව යන විදිහ නම් මරු අමුතුයි. බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු... දැන් ටිකක් ඉක්මනට ලියනවා කතාව...

      Delete
  4. ඔන්න කතාව යන්තම් ඔළුවට දා ගත්තා.. මේ විදිහටම අනික්වත් ලියමු හොදේ..

    ReplyDelete
    Replies
    1. හරි හරී... ඉක්මනට ලියන්නම්...

      Delete
  5. ඔබේ කතා ලියැවිල්ලනම් නියමයි

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......