Saturday, April 11, 2015

ජෙම් බිස්කට්

මං පොඩි කාලෙ ඉස්කෝලෙ නිවාඩු දීපු ගමන්ම හැම නිවාඩුවකදීම මාව ගමේ ගිහින් නවත්තනවා. ඒ රස්සාවල් කරන් ගමන් පොඩි එවුන් දෙන්නෙක් බලාගන්න එකෙන් පොඩ්ඩක් හරි අම්මලට සහනයක් ලැබෙන්න ඕනේ නිසා වෙන්න ඇති. මමත් නිවාඩු දෙනවයි කියලා දැනගත්ත ගමන්ම බලන් ඉන්නේ මාව ගමේ ගිහින් නවත්තනකල්. අම්මලට නිවාඩු ගන්න බැරි වුණොත් ආච්චි හරි පුංචි හරි එනවා මාව එක්ක යන්න. 

අම්මා එක්ක යනවට වඩා ආච්චි හරි පුංචි හරි එක්ක යන්න මම කැමතියි. ආච්චි එක්ක යනකොට පොල්ගහවෙල ස්ටේෂන් එකෙන් බැහැලා ස්ටේෂන් එකේ කැන්ටින් එකෙන් ඉඳි ආප්පයි, පරිප්පු හොදියි අරන් දෙනවා මට කන්න. ඒ දවස් වල මම කැමතිම කෑමක් ඉඳි ආප්ප. ගෙදරදි බත් කටක් කවාගන්න දාහක් වද විඳින්න ඕනේ වුණත් තනියම ඒ ඉඳි ආප්ප පිඟානම ඉවර කරනවා මම කිසි කතාවක් නැතුව. ඒ වුණාට ආච්චි මට මාලු හොදි නම් අරන් දෙන්නෙ නැහැ. ඒ මම බඩේ අමාරුවක් හදාගනියි කියල බයේ. ඒ වුණාට පුංචි එක්ක යනකොට නම් කොහොමහරි කංකෙඳිරි ගාලා මාලු හොදිත් ඉල්ලගන්නවා. ඉතින් පුංචි එක්ක යද්දි හැමදාම මට බඩේ අමාරුව. 

ආච්චිලාගේ ගෙදර ගිහින් දවස් දෙකක් විතර ඉන්නකොට මට නංගි නැති පාලුව දැනෙන්න ගන්නවා. ආච්චිලාගෙ ගෙදර වටේටම මාමලා හිටියත් එයාලාගෙ දුවල පුතාල ඔක්කොම මට වඩා ගොඩක් වැඩිමල්. ඉතින් මට සෙල්ලම් කරන්න කවුරුවත් නැහැ. දවස් දෙක තුනක් ගියාට පස්සෙ මම ආපහු කංකෙඳිරිය පටන් ගන්නවා. 
"අනේ ආච්චි අම්මේ, අපි පුංචිලාගෙ ගෙදර යමුකෝ." 
පුංචිලාගෙ ගෙදර තියෙන්නෙ ගොඩක් දුර. බස් දෙකකින් ගිහිල්ලා ආයෙ හුඟක් දුර පයින් යන්නත් ඕනෙ. ඒත් ඉතින් මගෙ කරච්චලේ ඉවසන්න බැරි නිසාම ආච්චි මාව එහේ ගිහින් නතර කරලා එනවා. පුංචිගෙ දුව මට අවුරුදු දෙකයි බාල. ඉතින් මට සෙල්ලම් කරන්න හොඳ සගයෙක්. ඉතින් එදා ඉඳන් සෙල්ලම් ගෙවල්, කඩ, ඉස්කෝල ඕවා වරදින්නෙ නැහැ. පුංචි වැඩ කළේ සමූපකාරෙ. අපිව ගෙදර තනියම දාලා යන්න බැරි නිසා අපිවත් එක්ක යනවා කඩේට. බයික් එකේ යන්නෙ. නංගි ඉස්සරහ. ඊට පස්සෙ බාප්පා. ඊට පස්සෙ මම. බාප්පව හයියෙන් අල්ලගෙනයි යන්නෙ. බයික් එකේ යන්න පුදුම බයයි මම. පුංචි පිටිපස්සෙන් මාවත් අල්ලගෙන. 

බයික් එකේ යද්දි වැරදිලාවත් පාර දෙපැත්ත නම් බලන්නෙ නෑ මම. ඉස්සරහ පේන්නෙත් නැහැ බාප්පා ඉන්න නිසා. උඩට ගත්ත හුස්ම පහළට දාන්නෙත් සමූපකාරෙ ගාවදි මාව උස්සලා බිමින් තිබ්බට පස්සෙ. ඊට පස්සෙ පටන් ගන්නෙ නංගිගෙයි මගෙයි සෙල්ලම. ටිකක් රස්නෙ පැත්තක් එහේ. ඉතින් වැලි නාගෙන අපි දෙන්නා සෙල්ලම් ගෙවල් හදනවා. 

ටිකක් දවල් උනාම පුංචි අපි දෙන්නට අඬගහනවා බිස්කට් දෙන්න. කඩේ ඉස්සරහම වීදුරු පෙට්ටිවල දාලයි බිස්කට් තියෙන්නෙ. ඒ බිස්කට් කිරල දෙන්නෙ. මම ආසම ජෙම් බිස්කට්. රෝස පාට, කහ පාට, කොළ පාට, සුදු පාට අයිසින් උඩින් දාලා තියෙන චූටිම චූටි බිස්කට්. මුලින්ම කන්නෙ බිස්කට් එක. ඊට පස්සෙ තමයි අයිසින් කන්නෙ. අයිසින් ටිකක් ඝනකමයි. ඒ වුණාට හපලා කන්නෙ නැහැ. කටේ දාගෙන ඉන්නවා නිකන්ම දිය වෙලා යනකල්. ඒ නංගිත් එක්ක තරඟෙට. කාටද අයිසින් ටික වැඩිම වෙලාවක් කටේ තියන් ඉන්න පුළුවන් බලන්න. තව තියෙනවා ලොකුම ලොකු මාරි, තව වේෆර්ස්, තව මැද්දෙ හිලක් තියෙන කහපාට බිස්කට් එක, ඒ ජාතියෙම චොකලට් බිස්කට් එක. චොකලට් ක්‍රීම් බිස්කට් එක නම් හම්බ වෙන්නෙ ඉඳල හිටල. 

තව එක එක ජාතියෙ පැණිරස කෑම. ලොකු කහපාට පෙපර්මින්ට්, තව හූණු බිත්තර, නාරං බික්. ඒවා නම් තියෙන්නෙ බෝතල් වල දාල කවුන්ටරේ උඩ. මම ටොපි කන්න කැමති නැති නිසා ටොපි දෙන්නෙ නංගිට විතරයි. මුලින්ම මම පෙපර්මින්ට් වලට කැමති වුණේ නැහැ. ඇයි අප්පා. තඩි බෙහෙත් පෙත්තක් වගේ නෙ. ඒත් පස්සෙ තමයි රස දන්නෙ. බිස්කට් කාලා ඉවර වෙලා තඩි පෙපර්මින්ට් එකකුත් කටේ දාගෙන අපි දෙන්නා දුවන්නෙ ආපහු සෙල්ලම් කරන්න. පුංචිල තේ බොනවා. අපි නම් තේ බොන්නෙ නැහැ. 

දවල් අව්ව සැර වෙනකොට අපි දෙන්නා කඩේ පිළට එනවා. නංගිට තිබුණා අකුරු සෙට් එකක්. අපි දෙන්නා ඒකෙන් තරඟෙට වචන හදනවා. මම එයාට වඩා ලොකු පන්තියක හිටපු නිසා මම දන්නවා වැඩිපුර වචන. ඒ අකුරු සෙට් එකේ එක අකුරකින් තියෙන්නේ එකයි. සමහර වචන හදන්න ගියාම අපි දෙන්නටම එකම අකුර ඕනේ වෙනවා. එතකොට තමයි පටන් ගන්නෙ රණ්ඩුව. ගොඩක් වෙලාවට රණ්ඩුවට මුල "ස" යන්න. අපි දෙන්නා "ස"යන්න දෙපැත්තට අදිනවා. ඊට පස්සෙ තමයි ගහගන්න පටන් ගන්නෙ. හොඳටම රණ්ඩුව දරුණු වුණාම පුංචි ඇවිත් අපි දෙන්නව දෙපැත්තට කරනවා. ඊට පස්සෙ අපි දෙන්නම පුංචිගෙ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන අඬනවා. ඒ අඬන ගමනුත් මම හෙමීට නංගිට පාරක් ගහනවා. 
"අනේ මේ කෙල්ල! මගෙ ඔඩොක්කුවේ ඉඳන් මගේම ළමයට ගහනවනේ.." පුංචි කියන්නෙ හිනා වෙවී. 
"ඉතින් පුංචි, ඔයා එයාගේ අම්මා වෙන්න කලින් නේ මගේ පුංචි වුණේ?" මම එහෙම කියන්නෙ හුඟක් අහින්සක මූණක් හදාගෙන.
ඔහොම දවස් ගත වෙලා ආපහු ඉස්කෝලේ පටන් ගන්න දවස් ළං වුණාම මාව එක්ක යන්න් ආපහු අම්මා එනවා. පුංචි මගේ ඇඳුම් එහෙම් නවලා බෑග් එකට දාල දෙනකල් නංගි එතන්ට වෙලා බුම්මගෙන ඉන්නවා. යන්න ලේස්ති වුණාම බෑග් එක නැහැ. නංගි බෑග් එක හංගලා. අම්මයි පුංචියි එකතුවෙලා බෑග් එක හොයනකොට නංගි අඬන්න පටන් ගන්නවා. එතකොට මාත් අඬනවා. 
"අනේ ලොකු අම්මෙ, අක්කව තව එක දවසක් තියලා යන්නකෝ.." 
ඒත් එතකොට පුංචි බෑග් එක හංගපු තැනින් හොයාගෙන. දැම්මම ගියෙ නැත්තම් බස් එක බැරි වේවි. පුංචි කියනවා. නවත්තන්නෙම නැතුව අඬන නංගියි, පුංචියි වැට ගාව ඉඳන් අපි යන දිහා බලන් ඉන්නවා. මමත් අඬ අඬම අම්මත් එක්ක ආපහු යනවා. 

පේරාදෙණිය ඉස්පිරිතාලෙට හැරෙන පාර ළඟ පලතුරු එහෙම විකුණන පොඩි කඩයක් තියෙනවා. බස් හෝල්ට් එක ළඟම. සමහර දවස් වලට එතන ජෙම් බිස්කට් විකුණන්න තියෙනවා. 

"අනේ අපි අතනින් ජෙම් බිස්කට් ගමුකෝ." මම යාළුවන්ට කියනවා. 
"පිස්සුද ඔයාට. ඔය පාර අයිනෙ තියෙන ඒව කන්න? ඕව කාලා පලු දාල, ඉදිමිලා එනවකෝ. අපි නම් බලන්නෙවත් නැහැ." යාළුවෝ මට සැර දානවා. 

ඉතින් ඉඳල හිටලා දවසක නුවරදි ජෙම් බිස්කට් ගත්තාම එදාට නම් සතුටෙ කෙළවරක් නැහැ. ජෙම් බිස්කට් එකේ රහ ඇතුලෙන් මම සංඝමිත්තා එකේ කෙළවරක් නැතුව කියවන යාළුවෝ හතර දෙනෙක් මැද්දෙ ඉඳන් ආපහු සමූපකාරෙ  පඩිය උඩට යනවා. ඒ නංගිත් එක්ක ජෙම් බිස්කට් අහුර මැද්දෙ තියාගෙන බිස්කට් ටික කාලා දාලා අයිසින් ටික කටේ දාගෙන කාටද වැඩිම වෙලාවක් ඉන්න පුළුවන් කියලා තරඟයක් තියන්න..... 

 
 

36 comments:

  1. අපේ කැන්ටිමේ තිබ්බා ඔය බිස්කට් එක.. මං පැණි රසට එච්චර කැමති නැති නිසා ඉතිං ඒවා බේරුනා

    ReplyDelete
    Replies
    1. අයියෝ අපේ කැන්ටිමේ නැහැ නේ ජෙම් බිස්කට්. තිබ්බනම් මම කාලම ඉවර වෙයි..

      Delete
  2. අම්මපා රසත් මතක් වුණා... සුවදත් මතකයි

    ReplyDelete
    Replies
    1. මටත් තාම රසයි සුවඳයි දෙකම මතකයි...

      Delete
  3. nostology!
    Tks - Sis

    ReplyDelete
  4. මට ඔව්ව කන්ඩ හම්බුන්නැනේ අපේ බක පන්ඩිත මාමල ටල් අම්මට කියල ඔව්වයේ සැකරිං තියනව කියල , ඒ කාලේ කෑම වලට දාන වෙන වහජාති තිබුන්නැ . මහ ලොකුවට කියෙව්වේ සැකරිං ගැන තමා

    නයිස් තිබුන , ලොකු මාරි තිබුන , බටර් කැරොල් වගේ බිස්කට් ජාතියක් තිබුන ( ප ) යන්න හැඩේ අපි කියුවේ පයනු බිස්කට් කියල , පත්තර කඩදාසියක් අතට අැරගන ඇසිට් බෝතලේ දාල තියන බිස්කට් ඒකට දාල තරාදියෙන් තියල කිරල එහෙම අරගන ඔතල ගෝනී නුලකින් බැදල තමා දුන්නේ

    දැන් බිස්කට් එහෙම රසත් නැ සුවදත් නැ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තමයි බිස්කට් කිරල දුන්නෙ. අපි නම් හැබැයි බිස්කට් කෑවා ඇතිවෙන්න. දැන් ඉතින් අපි කොච්චර වහ ජාති කනවද නේද කෑම වලට දාලා.

      දැන් බිස්කට් කන්නෙත් ඉඳල හිටල. ආයෙ කවද කන්නද ඒ වගේ බිස්කට්?

      Delete
  5. Replies
    1. බ්ලොග් පෝස්ට් එකක් නේද මේ?

      Delete
  6. අගුණ කෑමවර්ග ගැන ගුණදායී මතක...

    ReplyDelete
    Replies
    1. රස කෑම ගැන ඊට වඩා රස මතක....

      Delete
    2. You are බණ talking. මම මේ සතියක් තිස්සෙ අර ගිමන් නිවන්නගේ ඩයට් ප්ලෑන් එක කරලා ආපහු බත් කන්න ගත්ත ගමන්. :D

      Delete
    3. ඉතින් කෙට්ටු වුණාද ඩූඩ්? :O ඔයිට වඩා සැර ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරනවා අපි හොස්ටල් එකේදි... :D

      Delete
    4. අඩේ එළ නේ ඩූඩ්! ඔහොම යං...

      Delete
  7. ශෝක් මටත් පුංචිකාලේ මතක් වුණා, ජේම් බිස්කට් මාත් ආසයි,, දැන් ඉතින් කෑමක් ගැන කියෙවුවා මොනාහරි කන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඇයි බොල උඹත් අර ඩයට් ප්ලෑන් එකම කරලා කිලෝ පහක්ද කොහෙද බස්සගත්තා විතරයි නේද?

      Delete
    2. (මේ නම් පරණ ණය කාරයෙක් ඔව් ) ඔව් මං කැලරි ගණන් කරලා කන්නේ දැන්,,

      Delete
    3. :D :D නැත්තම් අපරාදෙනෙ අපූර්වි අඩු කරගත්ත කිලෝ ගාණ...

      Delete
  8. අඩේ ඇයි අප්පා මේ වගේ පෝස්ට් දාන්නේ ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවම කන්න පුළුවන් නේ ජෙම් බිස්කට් ඇති වෙන්න...

      Delete
  9. මේ බිස්කට්ස් වලට ජෙම් බිස්කට් කියනවා කියලා දන්නේ දැන්.
    මේ ළඟදි මට යාළුවෙක් ඉඟුරු ස්කෝතු ගෙනත් දුන්නම මතක ඇවිස්සිලා බුල්ටෝ, හකුරු,හා හූණු බිත්තර. මම ඔය ජෙම් බිස්කට් කෑවේ නෑ වැඩිය එකක් අර පාට කලරින් වලට බයේ අනික මට සත පනහෙන් එහාට පොඩි කාලේ හම්බ වුන හින්දා ඔය පොඩි බිස්කට් එකකට වඩා දෙයක් කන්න පුළුවන්කමක් තිබ්බා ඒ කාලේ. ඉතින් මම කෑවේ ඒ කාලේ හැටියට මුදලින් වැඩි වෙච්ච ගුණසිරි බුල්ටෝ, හකුරු, හා ඔය එක එක ඒවා. සත පහයි වෙන්න ඕනේ ඒ කාලේ ඔය මල් බිස්කට් එකක්. අන්න මම කිව්වේ මල් බිස්කට් ජෙම් නෙමෙයි.
    මම ආයේ කවදහරි කොළඹ ආවාම මල්ලි මට හූණු බිත්තර නම් අරන් දෙනවා කියලා පොරොන්දු කරවගෙන ඉන්නේ. මල් බිස්කට් අමතක වෙලාමයි තිබුනේ.

    ReplyDelete
    Replies
    1. බුල්ටෝ නම් මම කාලා නෑ.. මේවා නම් මෙහේ තියෙනවා දැන්. ඒත් ඉස්සර තරම් නම් රස නැහැ. ඔයා ආවම කාලා බලන්න. බුල්ටෝ දැන් නැතුව ඇති නේ?

      Delete
  10. මාත් හරිම ආසයි ජෙම් බිස්කට් කන්න. ගොඩක් කාලේකින් කන්න බැරිවුනා. :-(

    ReplyDelete
    Replies
    1. දැන් ඒවා ආපහු තියෙනවා තුශානි... :) ඔයාට අරන් කන්න පුළුවන්...

      Delete
  11. අපේ කාලෙ ඕවට කිව්වෙ බට්ටො කියල. අම්ම බට්ටො සත පහක අරන් දුන්නහම ලොකු දෙයක්. ඔය මල් බට්ටො සීනි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ නම නම් අහලම නැහැ... "මල් බට්ටො"

      Delete
  12. වෙලාවක ආයෙත් කාල බලන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. දැන් ආයෙත් තියෙනවානේ ඒ බිස්කට්...

      Delete
  13. අපි නං තවත් ඔය ජෙම් බිස්කට් කනවා.ඒත් අපි ඒවට කියන්නේ පොඩි පාං කියලා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔයාව මේ පැත්තට...

      අපිත් එහෙමයි.. හැබැයි ඉඳල හිටල තමයි ජෙම් බිස්කට් හම්බ වෙන්නෙ..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......