Monday, June 29, 2015

අපි හුඟක් පරක්කුයි...

හැමතැනම තිබ්බෙ පුදුම නිහඬතාවයක ගිලිලා. හරියට ඊළඟට වෙන්න යන දේ වටාපිටාවත් දැනන් හිටියා වගේ.
"සොරි නදී. මම පරක්කු වුණාට." අසංක කිව්වෙ ඔරලෝසුව දිහා බලන ගමන්. නදීට සුසුමක් හෙලුනේ ඉබේටම. හැමදාමත් වගේ ඔහු අදත් පරක්කුයි. ඒත් තවත් පරක්කු වෙන්න එපා කියන එකේ නම් තේරුමක් නැහැ වගෙයි.
"කමක් නැහැ අසංක." ඇය එහෙම කිව්වෙ තවත් කියන්න දෙයක් නැති කමට.
"අපි තවත් මේ සම්බන්ධෙ කරගෙන ගිහින් තේරුමක් නැහැ නදී. ඔයාලගේ තාත්තා කීයටවත් මට කැමති වෙන්නෙ නැහැ." අසංක කිව්වෙ ඉවත බලාගෙන. නදීගේ මූණ බලන් ඒක කියන්න ඔහුට ශක්තියක් නැහැ වගෙයි.
"ඒත් අසංක" නදීට කියන්න හම්බ වුණේ එච්චරයි.
"කියන දේ අහන්න නදී. මම ඔයාට ගැලපෙන්නෙ නෑ. මම කවුද? ඔයාලගේ තාත්තා බලාපොරොත්තු වෙන තරම් සල්ලිකාරයෙන් නෙවෙයි මම. මම දුප්පතෙක්. මම? මම නිකන්ම නිකන් නාට්‍යකාරයෙක් විතරයි"
"නියමයි සජිත්. නියමයි. මට ඕනෙ විදියටම කළා ඔයා" පැත්තකට වෙලා මේ හැමදේම බලන් හිටපු අංජන කිව්වෙ සතුට පිරිච්ච මූණකින්. ඔහු මේ නාට්‍යයේ අධ්‍යක්ෂක. ඔවුන් මේ පුහුණු වීම් කරන්නෙ තව සති දෙකකින් පැවැත්වෙන රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන්.
"මට මගේ නොවෙන, මගේම ආදරයක් තිබුණා."
නාදවෙන දුරකතනයේ හඬ අංජනට බාධා කළා වගෙයි. ඔහු දුරකතනය අතට අරන් බැලුවෙ නොකැමැත්තෙන්. කතා කළේ සෙව්මිණී.
"මම ඔයාට කියලා තියෙනවා නේද ප්‍රැක්ටිස් වෙලාවට කතා කරන්න එපා කියලා." අංජන හෙලෝ කියන්නෙවත් නැතුවයි එහෙම කිව්වෙ.
"සොරි අංජන. මම හිතුවෙ දැන් ප්‍රැක්ටිස් ඉවර ඇති කියලා." සෙව්මිණී උත්තර දුන්නෙ බයෙන් වගෙයි.
"හරි. දැන් මොකටද කතා කළේ?" අංජන අහන්නෙ කිසිම තෙතමනයක් නැති විදියට. ප්‍රැක්ටිස් වෙලාවට කතා කරන එක ඔහු අකමැති දෙයක් කියලා ඈ නොදැන සිටියා නෙවෙයි. ඒත් ඇය කතා කළේ වෙන කරන්නම දෙයක් නැති කමට.
"ම්ම්.. ඔයා ගන්න කියපු පොතේ ෆෝත් එඩිෂන් එක නෑ අංජන. තර්ඩ් එක විතරයි තියෙන්නෙ. මම අහන්න ගත්තෙ ඒක ගත්තට කමක් නැද්ද කියලා."
ඈට සැරෙන් කතා කරපු එකට අංජනට ඇතිවුණේ පසුතැවිල්ලක්.
"කමක් නෑ සෙව්. ඒක ගන්න. සල්ලි ඇතිද?" ඔහුගෙ කටහඬ එවර නම් සැර නැහැ.
"ඇති අංජන. මම තියන්නම් එහෙනම්."
"හ්ම්. පරිස්සමෙන් එන්න."
එක අතකට සෙව්මිණී මොනව කරන්නද? නාට්‍යය වෙලාවෙ ඔහු ජීවත් වුණේ වෙනම ෆැන්ටසි ලෝකෙක. ඒ ලෝකෙන් බිමට ඇදලා දානවට බයේ තමයි ඒ වෙලාවට කතා කරන එක, විශේෂයෙන්ම සෙව්මිණීට තහනම් කරලා තිබ්බෙ.
ඒ හීනේ කවදාවත්ම ඔහුට අයිති නැති එකක් කියලා දැනන් හිටියෙ ඔහු විතරමයි. ඒවා හීන විතරමයි.
"එයාට නම් මාව මතකවත් නැතුව ඇති." අංජන හිතුවෙ සුසුමක් හෙළන ගමන්.
"අපි එහෙනම් පොඩි ඉන්ටවල් එකක් ගමු. හරියට දහය හමාරට එන්න." ඔහු කිව්වෙ නාට්‍ය කණ්ඩායමේ අනිත් අයට.
~~~~~~~~
දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි
දිග දළ අටෙකි - සත් ගැබෙකි
වැව් පොකුණද කි - සත් සිය ගැණ කි
එක පොකුණක කි - සිව් මාලෙ කි
සිසුවියන් තාලෙට පාද තියන හැටි සුලක්ෂි බලන් හිටියේ හරිම පරීක්ෂාවෙන්. එක අඩියක්වත් ඇගේ දෑසෙන් මඟහැරුණේ නම් නැහැ. ඇයට ඕනේ වුණේ පුළුවන්තරම් හොඳින් මේ නැටුම පුරුදු කරවන්න. පාසලෙන් අයින් වෙන්න කලින් එක් සමස්ත ලංකා තරඟයක් හෝ දිනවලා දෙන්න ඇයට ඕනෙකම තිබ්බා.
ඇගේ ජීවිතේ හැම දේකින්ම පිරිලා කියලයි පිටින් බලන ඕනේ කෙනෙක්ට හිතෙන්නෙ. ඇය විවාහ වෙලා තාම මාස දෙකක්වත් නැහැ. ඔහු සුරේශ්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. සේවය කළේ නම් ඕස්ට්‍රේලියාවෙ. විවාහයෙන් පස්සෙ ඔහුත් එක්කම එහෙ පදිංචියට යන්නයි හැමදේම ලේස්ති කරලා තිබ්බෙ. ඒත් ළඟ එන සමස්ත ලංකා තරඟෙ පෙනී පෙනීම පාසලෙන් අස් වෙන්න ඈට හිත් දුන්නෙ නැහැ. සුරේෂ් කිව්වෙ එහෙනම් තරඟෙ ඉවර වෙලාම රට යමු කියලා සති දෙකකට නිවාඩුව දික් කරගන්න ගමන්. යෝජනාවකින් විවාහ වුණත් ඔහු හරිම හොඳ සැමියෙක් කියලයි ඈට හිතුණේ.
ළමයි ටික නම් එක අඩියක්වත් වරද්දන්නෙ නැතුව නටනවා. ඈට මතක් උණේ ඈ මුලින්ම ගජගා වන්නම පුහුණු වෙච්ච හැටි.
තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
ඈ නැටුම් පුරුදු වුණේ මහගෙදර මිදුලෙ. ඒ දවස් වල ඉඳන්ම ඇගේ ආසාව තිබ්බෙ නැටුම් ගුරුවරියක් වෙන්න. ඒත් ඇගේ නැටුම එක පාරටම නතර වුණේ කොහෙදෝ ඉඳන් ආපු පේර ගැටයක් එක පාරටම ඇගේ නළලේ වැදුණු හින්දා. ඈත ඉඳන් ආපු පාරෙ සැරටද මන්දා ඈට හොඳටම රිදුණා. ඇස් දෙකේ කඳුළුත් පිරුණා.
"පෙනේද මේකා කරන වැඩ. මම බලාගෙනයි හිටියෙ. පඳුර අස්සට වෙලා විද්දා නේද චූටි මැණිකෙට කැටපෝලෙන්." පබිලිනා නැන්දා කනෙන් ඇදගෙන ආවෙ එයාගෙ පුතාගෙ.
"දෙන්නම් උඹට අද වේවැල් පාර. දැක්කද චූටිමැණිකෙ අඬනවත් එක්ක" පබිලිනා නැන්දා කනෙන් අතාරින පාටක් නම් නැහැ. සුලක්ෂිගෙ ඇස් දෙකේ කඳුළුත් වේලුණේ කොලුවා වේදනාවෙන් මිරිකිලා ඉන්න හැටි දැක්කම.
"මට රිදුන් නෑ නැන්දෙ." ඈ කිව්වෙ තවත් ඒ දිහා බලන් ඉන්න බැරි කමට.
"පලයන් දැන්" පබිලිනා නැන්දා කන අතෑරියේ ඔලුවට ටොක්කකුත් ඇනලා.
"හුඟක් රිදුනද චූටි මැණිකෙ. ඕකා කොහොමත් මහ නාහෙට අහන්නෙ නැති එකා" පබිලිනා නැන්දා ඇහුවේ සාමව අයදින ස්වරයකින්.
"නෑ නැන්දෙ. මට රිදුන් නෑ." සුලක්ෂි කිව්වෙ බොරු. ඒත් ඒ බොරු කියලා දන්නෙ ඇය විතරයි.
"යං චූටි මැණිකෙ. මං දොඩම් හදල ඇති." පබිලිනා නැන්දා සුලක්ෂිවත් ඉස්සර කරන් ගේ ඇතුලට ගියා.
දොඩම් වීදුරුවත් අරන් සුලක්ෂි කුස්සියට යනකොට පබිලිනා නැන්දගෙ පුතා බංකුවක වාඩි වෙලා බත් කනවා. සුලක්ෂිගෙ හිත අනුකම්පාවෙන් පිරුණා.
"මං හින්දා ගුටි කෑවා නේද?"
ම්ම්.. ඔහු සද්දයක් නැතුවම බත් කනවා. සුලක්ෂිට හිතුනෙ ඔහු තරහෙන් ඇති කියලයි.
"රිදුන් නෑ කීවාට මට රිදුණා." සුලක්ෂි කිව්වෙ ඔහුව කතා කරවන්න හිතාගෙන. ඒත් ඔහුගෙන් සද්දයක් නැහැ.ප්‍රතිචාරයක් නැති තැන සුලක්ෂි කුස්සියෙන් වීදුරුව තියලා ආපහු ගෙට ගියා.
ඊට පස්සෙ ඉඳහිට ඔහුව දකීන්න ලැබුණත් ඔහු සුලක්ෂි එක්ක කතා කළේ නම් නැහැ. සුලක්ෂිට හිතුනෙ නම් එදා තමන් නිසා ගුටි කාපු එකට තරහෙන් ඇති කියලයි.
කාලෙකට පස්සෙ සුලක්ෂිලා කොළඹ ආවා. දැන් කොච්චර කල් ගත වෙලාද? ඈ ඔහුගේ නම මතක් කරගන්න උත්සහ දැරුවා. පබිලිනා නැන්දා නම් කතා කළේ චූටි පුතා කියලා. ඒත් අම්මා දවසක් නම ඇහුවම කිව්වේ නම් ප්‍රියංකර කියලා. එයා දැන් මොනවා කරනවද දන්නෑ. දැන් නම් බැඳලත් ඇති. කොළඹ ඇවිත් ටික කාලයක් යනකම් ඈ ඔහුව හුඟක් මතක් කළා. ඒත් කාලයත් එක්කම ඒ ගැන එහෙමම අමතක වුණා.
හ්ම්ම්.. ඈට නොදැනුවත්වම සුසුමක් හෙලුණා.
~~~~~~~
විදුලි ආලෝකේ සැරට ඈට ඇස් නිලංකාර වෙන්නත් ආවා. ඒ සමස්ත ලංකා කළා උළෙල. ළමයි ටික නම් හිතුවටත් වඩා හොඳට නර්තනය ඉදිරිපත් කරපු එක ගැන ඇයට දැනුනෙ කියන්න බැරි තරම් සතුටක්. අනෙක් එක කණ්ඩායමක් වත් ඒ තරම් හොඳ නෑ කියලයි ඈට හිතුනේ.
"නැටුම් තරඟෙ ප්‍රතිඵල කියන්නෙ අන්තිමට ලු නේද සුලක්ෂි?" දම්මි ඇහුවෙ ලේන්සුවෙන් දාඩිය පිහිදාන ගමන්.
"එහෙමද? තව ගොඩක් වෙලා යයිද දන්නෙ නෑ නේද දම්මි?" සුලක්ෂි ඇහුවෙ ඈට ප්‍රතිඵල දැනගන්නකන් ඉවසිල්ලක් නැති නිසා.
"ම්ම්ම්.. ඉළඟට නාට්‍යයක් තියෙනවලු. ගිය සතියෙ රාජ්‍ය නාට්‍ය උළෙලෙ හොඳම නාට්‍යට තේරුණේ ඒ නාට්‍යලු. අපේ නංගි බලන්න ගියාලු. හරිම ලස්සන කතාවක් ලු." දම්මි කියාගෙන ගියා.
"බලමු එහෙනම්. කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සෙ වේදිකා නාට්‍යයක් බැලුවෙම නැහැ." සුලක්ෂි එහෙම කිව්වෙ පහසුවෙන් වාඩි එන ගමන්.
නාට්‍යය පටන් ගන්න බවට නිවේදනය වුණා. වේදිකාවේ දිස්වුණේ කුඩා දැරියක් ගජගා වන්නම නටමින් සිටින අයුරු. එක්වරම ඇගේ අවධානෙ බිඳුණේ ඈත පොඩි කොල්ලෙක් කැටපෝලයක් මානලා ඈට ගලකින් ගහපු නිසයි.
"අනේ හැබෑට. උඹ මොකද්ද කරපු වැඩේ. ගැහුව නේද චූටී මැණිකෙට?" තලතුනා ගෑණු කෙනෙක් කිව්වෙ ඒ කොල්ලගේ කනෙන් ඇදගෙන යන ගමන්.
සුලක්ෂිට දැනුනේ හැමතැනම කැරකෙනවා වගේ. ඈ වතුර බෝතලේ අරන් වතුර බීගෙන ගියා.
"ඇයි සුලක්ෂි? ඔයාට මොකද?" දම්මි ඇහුවෙ බයවෙලා වගේ.
"නෑ දම්මි. අමාරුවක් නැහැ. මම ටිකක් එළියට ගිහින් එන්නම්." සුලක්ෂි එහෙම කියලා එළියට ආවෙ මොනවත් හිතාගන්න බැරි වුණ නිසා.
එළියේ සුළඟට ලෙලදෙමින් තිබුණේ බැනර් එකක්.
රාජ්‍ය සම්මාන දිනූ 
අංජන ප්‍රියංකර ගේ
"අපි හුඟක් පරක්කුයි"