Wednesday, February 3, 2016

කැරළි දිග කොණ්ඩයක්...

අයියෝ කරදරේ. හැමදාම උදේට පරක්කු වෙන්නෙ මේ කොණ්ඩෙ ගැට ලිහන්න ගියාම. ඔන්න ඔහෙ දැන් පීරන්න වෙලාවක් නැහැ. කොණ්ඩෙ බැඳගෙනම යනවා. 

උදේම පාඩම් කරන්න මේසයක් අල්ලගත්තෙ නැත්තම් එහෙම ඉතුරු වෙන්නෙ කැඩිච්ච එහෙම නැත්තම් අව්ව වැටෙන මේස. ෆෑන් එකක් ළඟත් නැති දුරත් නැති මේසයක් අල්ලගත්තාම වැඩේ හරි. වැඩේ කියන්නෙ ඔයින් එකක් අල්ලගන්න උදෙන්ම යන්න වෙන එක නේ. 

වැඩ කර කර ඉන්න ගමන් දැනුනෙ කොණ්ඩ කට්ට බාගෙට ගැලවිලා කියලා. කොන්ඩෙ ගලවලා ආපහු බඳින්න හදනකොටම පිටිපස්සෙ මේසෙ හිටපු කෙනාගෙන් තට්ටුවක්. 

"ඔය කොණ්ඩෙ ඔච්චර ගස්සන්න එපා ඕයි. තමුසෙලා මේ දවස්වල නාන්නෙත් නැතුව නේ පාඩම් කරන්නෙ. මගෙ පොත් වලට උකුණො වැටෙයි." 

හැමෝගෙම හිත දිනාගත්ත හිතුවක්කාරයා බොරුවට ඔරොප්පු මූණක් හදාගෙන පොත් ටික ගසනවා. 

"මගෙ කොණ්ඩෙ උකුණො නෑ මැට්ටො" ඔහොම කියලා රවලා ආපහු ඉස්සරහ හැරුණා. ආව මෙතන මට අනං මනං කියන්න. හිතුව මදි. 

හැමදාම මොකක්හරි කියලා මාව කේන්ති ගස්සන මේ හිතුවක්කාරයා ගැන පොඩි හරි විශේෂත්වයක් නොතිබුණාම නෙවෙයි. ඒත් ඉතින් කැම්පස් හිටපු අවුරුදු හතරම නොවිච්ච දේවල් මේ අන්තිම මාසෙ වෙන්න පුළුවන්ද? 

කොණ්ඩෙට පනාවක් තියන්නෙවත් නැතුව ඔහේ කොණ්ඩෙ එකතු කරලා කට්ටක් ගහන් ආපු දවසක ලයිබ්‍රරි යන ගමන් "තමුසෙගෙ කොණ්ඩෙ මාර ලස්සනයි ඕයි.." කියලා කනට කොඳුරන්න පුළුවන් ඒ වගේ හිතුවක්කාරයෙක්ට විතරමයි. 

ඒත් මම ජීවිතේට බයයි. කිසිම දවසක ජීවිතේ සතුටක් විඳල නැති මම සතුටු වෙන්න බයයි. ඒ හැම වෙලාවෙම අවාසනාවක් ඒ පස්සෙන් ආපු නිසාද කියන්න දන්නෙ නැහැ. හිතුවක්කාරයට පොඩ්ඩක් හරි ඉඟියක් දෙන්න මම ඉක්මන් නොවුනෙ ඒකයි.. 

විශ්වවිද්‍යාල ජීවිතේ අවසන් කරලා එන්න කලින් දවසෙ මගෙ ඉණ ගාවට තිබ්බ් කොණ්ඩෙ කපලා දැම්මෙ ඇයි කියන්න මටවත් තේරෙන්නෙ නැහැ. දුක හිතෙයි කියලා හිතුවට මොනම හැඟීමක්වත් දැනුනෙ නැහැ. බිම පුරාම තියෙන කොණ්ඩෙ දැක්කම හිතට ආවෙ හිස් හැඟීමක් විතරමයි.. 

කැම්පස් එකෙන් ආවට පස්සෙ මගෙ ජීවිතේ ගෙවුණෙ වෙනස්ම විදියකට. අනිත් අය කරපු විදියට ජොබ් එකක් හොයාගෙන කසාද බැඳලා, ළමයි හදාගෙන ටිපිකල් විදියට ජීවිතේ ගෙවන්න ආසාවක් තිබ්බෙ නැහැ. ඒ වුණාට යාළුවො කට්ටිය එකතුවෙන ගෙට්-ටු-ගෙදර්, ට්‍රිප් වගේ ඒවා ඕගනයිස් කරන්න මම හරිම කැමැත්තෙන් සහභාගි වුණා. 

 උසස් අධ්‍යාපන අවස්ථාවක් එක්ක රට යන්න ලැබුණාම වැඩිදුර නොහිතම ඒ අවස්ථාව ගත්තෙ අම්මයි, අප්පච්චියි බලාගන්න අයියයි, අක්කයි මෙහෙ හිටපු නිසයි. කොහොමත් හිතුවක්කාරෙට ලෝකෙ වටේ කරක් ගහන එක ඒ කාලෙ ඉදන්ම තිබ්බ ආසාවක්. ඔහොම හිතුවක්කාරෙට යුරෝපෙ ඇවිද ඇවිද ඉන්නකොට තමයි මුලින්ම රෝග ලක්ෂණ මතු වුණේ. 

"Sam, we're extremely sorry. But you have cancer."

තමන් සේවය කරන රෝහලේදිම තමන්ගෙ සහෝදර වෛද්‍යවරයෙක්ගෙන්ම ඒ වගේ දෙයක් අහන්න ලැබුණාම අඩුගානෙ දුකක්වත් දැනෙන්න ඕනෙ. ඒත් මම හැඟීම් කියන දේවල් වලින් හෙම්බත් වෙලයි හිටියෙ. ඒ නිසා මට දැනුනෙ හිස් හැඟීමක් විතරයි.

"කාටවත් කියන්න එපා අම්මෙ. මම කැමති නැහැ මිනිස්සු මට අනුකම්පා කරනවට.." බෙහෙත් සැරට කොණ්ඩෙ ගැලවෙන්න පටන් ගන්නත් කලින් මම අම්මට එහෙම කිව්වෙ. අම්මා ඒ පොරොන්දුව අකුරටම රැකලා තිබුණා. යාළුවො ඔක්කොම හිතුවෙ මම රට ගියාම එයාලා අමතක කළා කියලා. 

දීර්ඝ ප්‍රතිකාර ක්‍රම.. කෙළවරක් නැති කීමොතෙරපි, රේඩියෝතෙරපි.. ඉවර වෙද්දි මම හොඳටම වෙනස් වෙලා. කෙට්ටු වෙලා.. අඳුරගන්නවත් බැරි තරමට... 

මුලින්ම අඳුරගත්ත නිසා සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න පුළුවන් වුණාට ප්‍රතිකාර ඉවර වෙද්දි මම සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙලා. 

සේවය කරපු රෝහලට සමුදුන්නෙ විවේකය අවශ්‍යයි කියලා වුණාට විවේක ගන්න කිසිම අදහසක් තිබ්බෙ නෑ මට. සුභසාධක කණ්ඩායමක් එක්ක එකතු වෙලා ලෝකෙ වටේ යන්න හිතුවෙ ආයෙ කවදා මට මේ ලෙඩේ එක්ක සටන් කරන්න  වෙයිද දන්නෙ නැති නිසයි.

ඉඳල හිටලා මූණු පොතේ ඇවිදිනකොට පරණ යාළුවො දැන් ගත කරන ජීවිත දැක්කම සතුටක් දැනෙන්නෙ එයාල ජීවිතේ දිනලා කියලා හිතුවම. 

එයලා තරම් ම නැතත් මමත් යම් තරමකට හරි ජීවිතේ දිනලයි කියලයි මට හිතෙන්නෙ. හිතුවක්කාරයත් දැන් බැඳලා. ඒ වගේම චූටි බබාල දෙන්නෙකුත් ඉන්නවා.. 

එයාගෙ නෝනටත් තියෙන්නෙ ලස්සන කැරළි කොණ්ඩයක්. චූටි දෝනිටත් එහෙමයි. 

"තමුසෙගෙ කොණ්ඩෙ මාර ලස්සනයි ඕයි.." ඈතින් ඉඳන් හිතුවක්කාරයා කොඳුරනවා හීනෙන් වගේ ඇහුණා..