Thursday, March 31, 2016

දත් වෙද සුමිතුරු

සිතූ දැන් බ්ලොග් අවකාශෙට ඇවිත් අවුරුදු 5ක් විතර වෙනවා. මුලින්ම බ්ලොග් කියවන්න විතරක් ආවත් තමන්ගෙම කියලා බ්ලොග් එකක් පටන් ගන්න එක නම් වුණේ සෑහෙන්න පහු වෙලා. ඒ 2012 ජූනි මාසෙ විතර. ඒ පටන් ගත්ත බ්ලොග් එක තමයි මේ. 

ඉතින් සිතූ ගේ හිතට එන අනන් මනන්, කවි කතා එහෙම ලියන්න තමයි ඒ දවස්වල මේ බ්ලොග් එක අටවගත්තෙ. ඒ බ්ලොග් එක අධ්‍යාපන කටයුතු එක්ක ඉඩ ලැබෙන වෙලාවට පමණක් ලියපු නිසා බොහොම ඉබි ගමනක් තමයි ආවෙ. පෝස්ට් ගාණ තවම 100ක් වෙලත් නැහැ. 

ඉතින් ඒ අතරෙ සිතූට හිතුණා අලුත් බ්ලොග් එකක් පටන් ගන්න. මේක සිතූගෙ රස්සාවට සම්බන්ධ බ්ලොග් එකක් කිව්වොත් නිවැරදියි. 

සිතූගෙ රස්සාව තමයි අනුන්ගෙ දත් ගලවන එක. දත් ගලවන එකම විතරක් නෙවෙයි, පුරවන වැඩ, තවත් දත් සම්බන්ධ නා නා ප්‍රකාර වැඩ කරනවා. 

ඉතින් මේ දත් සම්බන්ධ රෝග ගැන ගොඩක් ප්‍රශ්න අපිට තියෙනවා. ඒ වගේම දත් රෝග වල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් ඒවා වළක්ව ගන්න පුළුවන් එක. 

ඉතින් ඒක ගැන හිතලයි සිතූ මේ බ්ලොග් එක පටන් ගත්තෙ. ප්‍රශ්න තියෙනව නම් ඊමේල් මගින් වගේම කමෙන්ට් මගින් යොමු කරන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි මාතෘකාවක්  ගැන ලිපියක් ලියවෙන්න ඕනෙ කියලා හිතෙනවා නම් ඒ ගැන කියන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් ඒ ගැන ලිපියක් ලියන්න. 

ඉතින් ඉඩක් තියෙන වෙලාවක ඒ පැත්තට එන්න. 

බ්ලොග් එකට පාර මෙතනින්..... 





බ්ලොග් ක සඳහා බැනර් එක සාදා දුන්නේ බුකි මිත්‍ර ශශින් සහෝදරයා.. ඒ සහෝදරයාට ගොඩක් ස්තූතියි... 

Wednesday, March 30, 2016

බස් රියේ දී හමු වූ අයියාහ් වෙත ලියුමක්...

බස් එකේ මගේ එහා පැත්තේ ඉඳගෙන ආ අයියාහ් වෙත ආදරයෙන් ලියා තබමි... ඔයා ඉතා පොෂ්ය. ඇඳුම් පැළඳුම් බ්‍රෑන්ඩඩ් ය. හිසකෙස් ජෙල් කර නවතම විලාසිතාවකට සකසා ඇත. කතා කරන්නේ කඩ්ඩෙනි. ඔබගේ කඩ්ඩෙහි නිපුණත්වය මට මනාව තේරුම් ගත හැකි වූයේ ඔබගේ දුරකතන සංවාදය මටද ඇසුණ නිසාය. කඩ්ඩෙන් වදාරණ ලද ඒ මහා පතරංග නාග ජාතකයේ වැරදි ඉංගිරිස් වචන ගණන හරි ඉංගිරිස් වචන ගණනට වඩා වැඩි බැවිනි.. ඔබ පැවසූ පරිදි ඊයේ මිලට ගත් ජෙනුයින් ලෙදර් බෙල්ට් එක සෙවන් තවුසන්ඩ්ය. ඒත් ඒක ඔයාට නම් නතිංය. නෙක්ස්ට් වීක් සින්ගපෝර් ට්‍රැවල් කරනවාය.. තවත් කතා බොහෝය.. මේ නාග ජාතකයෙන් මට ඇසු ණු කොටස්ය.. මා කටවල් සිය දහස් ගණනක් දැක ඇත. ඩබල් සීල් මාස්ක් දැමූ පසුවද කලන්තේ දැමීමට තරම් දුර්ගන්ධය හමන කටවල් සහිත මිනිසුන් මට හමුවී ඇත. ඒත් ඔබ ඒ සියල්ලන්ටම ඉහළින් සිටියි!! ඉතින් අයියාහ්! මින්පසු ජෙනුයින් ලෙදර් බෙල්ට් එකක් මිලදී ගැනීමට වියදම් කරන මුදලින් පහෙන් එකක් පමණ වියදම් කර ඔබගේ දත් ටික සුද්ධ කර ගන්න. ඔබ අවට සිටින අයට දෙවි පිහිටයි.. මීට ඔබේ එහා සීට් එකේ ඉඳගෙන ආ දැනට අර්ධ කෝමා තත්වයට පත්වී සිටින අසරණිය...