Thursday, April 21, 2016

කිසි දිනෙක මල් පිපෙනු බැරි තැන

ඉස්සර අතට අහුවෙන හැම පොතක්ම කියවපු මං සරසවියට ගොඩ වුණේ කොච්චර කාලෙකට පස්සෙද? ඉස්සර රාක්ක වල තිබුනෙම හුරු පුරුදු පොත්පත්. වැඩ කරන අයගෙත් තිබුනෙ හුරු පුරුදු මුහුණු. ඒ ඔක්කොම මෙච්චර ඉක්මනට වෙනස් වුණේ කොහොමද? 

ඉක්මනට??

ඉක්මනට කියන්නෙ කොහොමද? අවුරුදුම දැන් කීයක්ද? දෝනිටත් දැන් අවුරුදුම හතරක්! 

ඒව හිත හිත මං ඇවිත් නතර වෙලා තිබුණෙ කවි පොත් රාක්කෙ ගාව. මගෙ ඉස්සරහ උන්නෙ කවදහරි මුණ ගැහෙයි කියල හිතපු ඒත් මෙහෙම මුණ ගැහෙයි කියලා කවදවත් නොහිතපු හීනයක්.. 

ඒ කාලෙ අපි දෙන්නගෙම හීනයක්. 

නිල් පාට කවරයක්. අතින් ඇඳපු චිත්‍රයක්. එයාට චිත්‍ර අඳින්න බෑනෙ. යාළුවෙක්ට කියල අන්දගන්න ඇති. ඒ කාලෙ ඉඳන්ම එයාට යාළුවෝ ඕසෙට. තේකක් බොන්න ඉඳගත්තත් ඇවිත් වටකරගන්න යාළුවො. මං කී දවසක් රණ්ඩු වෙලා ඇද්ද ඕකට. ඒත් හැමදාම, හැමතැනම එයාට යාළුවො. 

"කිසි දිනෙක මල් පිපෙනු බැරි තැන" 

එහෙමයි පොතට නම දාල තිබ්බෙ. ඒ මොකද්ද ඒකෙ තේරුම? ඒ කාලෙ ඉඳන්ම මට තේරෙන්නෙ නැත්තෙ එයාගෙ ඔය අමුතු කවි. මං ඉතින් කොහොමද ඔය කවි තේරුම් ගන්නෙ? ජීවිතේට මංම හිතල ලිව්ව පළවෙනි වගේම අන්තිම කවියත් එයාට ලිව්ව කොට. 

ම්ම්ම්... දැන් කොච්චර කල්ද හැබෑට.. මාව එයාට මතක තියෙනවද දන්නෙ නෑ. ඒත් අමතක වෙන්නෙ කොහොමද? එයාගෙ පළවෙනි ආදරේ මං වෙච්චි කොට. 

එයා ගැන මුලින්ම දැනගන්න කාලෙ මං ආදරේකින් පැරදිලයි හිටියෙ. "ගෙදරින් කැමති නෑ." ඒ විදියට අපේ සම්බන්ධෙට නැවතීමෙ තිත තිබ්බ මනුස්සය වෙන කිරිල්ලියක් එක්ක සවාරි ගහන බව මට කිව්වෙ ඒ කැම්පස් එකේ හිටිය මගෙ යාළුවෙක්. 

දැන් නම් එවරස්ට් කන්ද හිත උඩට කඩන් වැටුණත් ගාණක් නැති වුණාට මං ඒ කාලෙ කුරුලු පිහාට්ටක් ඇහේ වැදුණත් මහ හයියෙන් අඬපු කාලෙ, නොකා නොබී මාසයක් විතර ගෙයි මුල්ලෙ හිටියට පස්සෙ මධූ ඇවිත් බලෙන්ම මාව ආපහු කැම්පස් එකට ඇදන් ගියා. "උඹ මැරිල යන්නද හදන්නෙ?" එහෙම කියල බලෙන්ම මාව ලෙක්චර්ස් වලටත් ඇදගෙන ගියා. ඔහොම ගියපු මුල්ම සතියෙ දවසක මධූලගෙ ගෙදරින් ඇවිත් එයා වේලාසනම ගියා. මට එන්න වුණේ තනියම. 

ඒ එන පාරෙ මහ භායානක බංකුවක් තිබුණා. සංක මාව බලන්න ආව දවසට අපි දෙන්න පැය ගණන් වාඩි වෙලා කතා කර කර උන්නු බංකුව. එක එක දේවල් හිත හිත ආවත් ඒ බංකුව ළඟටම එද්දි මං බොහොම අමාරුවෙන් හදාගත්ත බැමි ටික කැඩිලා ගිහින් එක්වරම මං බංකුවේ ඉඳගෙන කඳුළු වගුරවමින් හිටියා. 

පැයකට විතර පස්සෙ ඔලුව උස්සල බලද්දි මගෙ එහා පැත්තෙ දැකල පුරුදු ඒත් නාඳුනන කොල්ලෙක් ඉඳගෙන හිටියා. 

ඒ විහඟ..

දැකල පුරුදු කිව්වෙ අපේ ෆැකල්ටියෙ නොවුණට වැඩි හරියක් හිටියෙ අපේ කැන්ටිමේ නිසයි. හැම වෙලාවෙම යාළුවො වට කරන් හිටිය කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්නවා පෙනුන කෙනෙක්. 

"අඬල ඉවරද ඔයා?' එයා එහෙම ඇහුවා. 

වෙන වෙලාවක නම් ලැජ්ජාවෙන් රතු වෙනවා වුණාට මං එවෙලෙ හිටියෙ ඉක්මනට එතනින් ගැලවිලා යන සිහියෙන්. තව හිටියොත් මොනව අහයිද දන්නෙ නෑ. 

"මං යනව." එහෙම කියපු මං එතනින් නැගිට්ටෙ ආපහු හොස්ටල් එකට යන්න. 

"ඉන්න. මං ඔයාව ඇරලන්නම්." එයත් එහෙම කියලා නැගිට්ටා. 

"එපා." එහෙම කිව්ව මං වේගෙන් ඈතටම ඇවිදන් ගියා. ටික දුරක් ඇවිදිද්දි දැක්කෙ මෙයා මං පස්සෙන්ම ඇවිත් විත්තිය. ඉක්මනටම යන සිහියෙන් හිටපු නිසා මං වේගෙන් දුවගෙන වගෙයි ගියේ. හොස්ටල් එකේ කන්ද නගිද්දි මං ආපහු හැරිල බැලුවා. එතකොට මං දැක්කෙ පහල ඉඳන් බලන් ඉන්න එයාව. 

මධූ ආපහු ආවට පස්සෙ විස්තරේ කිව්වම එයා කිව්වෙ මට අඩුගානෙ ස්තූති කරන්නවත් තිබ්බ කියලයි. ඒත් කාටද ඕව මතක් වෙන්නෙ? ආයෙ හම්බ වුණොත් කියන්න බැරියැ. මං එහෙමයි හිතුවෙ. 

ඊට පස්සෙ මං ඉඳහිට එයාව දැක්කත් එයාට ස්තූති කරන්න විදියක් තිබුණෙ නෑ මට. ඒ හැම වෙලාවෙම යාළුවො පිරිවරන් හිටිය නිසයි. 

"මහ උද්දච්ච කෙල්ලෙක්" එහෙමයි මං ගැන හිතුවෙ කියල මට පස්සෙ කාලෙකදි කිව්වෙ. 

ඊට පස්සෙ සතියෙ අපේ ෆැකල්ටියෙ ජායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා. ඔන්න එහෙදියි මං එයාව තනියම අල්ල ගත්තෙ. වැඩිය කවුරුවත් නැති හරියක හිටපු හින්දා කතා කරන්න ලේසි වුණා. 

"එදා හොස්ටල් එක ළඟටම ආවට තෑන්ක්ස් ඔයාට" එයාට මාව මතකද වත් කියල අහන්නෙ නැතුවයි මං එහෙම කිව්වෙ. 

"එදා ඔයා යන ගමන් වාහනේකටවත් පනියි කියල හිතුණ මට. ඒකයි ආවෙ." එහෙම කියල එයා හිනා වුණා. 

එදා තමයි එයාගෙ අර ඇස් පුංචි වෙන හිනාව මං මුලින්ම දැක්කෙ.

එයා කවියෙක්. එයාලගෙ ෆැකල්ටියේ කැන්ටිමේ රසම රස ෆ්රුට් සැලඩ් එකක් තිබුණා. අපි ඕක කන්න සතියට තුන් පාරක්වත් යන්න පුරුදු වෙලා හිටියා. ඔහොම ගිය දවසක අහම්බෙන් තමයි මං එයාගෙ කවි දැක්කෙ ඒ නෝටිස් බෝඩ් එකේ. කවි ගැන ඉන්ටරස්ට් එකක් කොහෙත්ම නොතිබ්බ මං ඊට පස්සෙ හැම සතියෙම නෝටිස් බෝඩ් එකේ එයාගෙ කවි කියවමින් හිටියා. 

ඊට පස්සෙ එයා එක්ක එයාගෙ කවි ගැන කතා කරමින් හිටියා. කවි ගැන මෙලෝ අදහසක් ඔලුවෙ නොතිබ්බ මං එයාගෙ කවි විතරක්ම කියවලා ඒ ගැන මගේ අදහස් කියමින් හිටියා. 

ටික කාලෙකට පස්සෙ මං ජීවිතේ මුලින්ම ලිව්ව කවිය ලියලා තිබුණා. 


සති පතා කවි පිටුවෙ නුඹ ලියු 
කවි පේළි මම දකිනවා 

නුඹේ මිතුරන් එ'කවි කියවා 
හරි අගෙයි යැයි කියනවා 

ඒත් මම නම් තාම කැමතිම 
නුඹ එදා මට නොකී කවියට 
මගේ ගැන නුඹ නොලියූ කවියට...


ඊට ටික කාලෙකට පස්සෙ අපි අත් අල්ලන් අර මුලින්ම අපි හම්බ වුණ බංකුවේ වාඩි වෙලා හිටියා. 

මෙච්චර කාලයක් ගිහිල්ලත් මේ ඔක්කොම මට මතක එක පුදුම හිතෙන තරම් කාරණාවක් නේද? ඒත් ඉතින් අපි කතා කරපු සමහර දේවල් ඒ විදියටම මට මතක එකේ ඕක එච්චර දෙයක් නෙවෙයි.. 

කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සෙ අපේ අම්මලට ඕනෙ වුණා මේවා පිළිවෙළක් කරන්න. වෙන වචනවලින් කියනවා නම් අපිව කසාද බන්දන්න. ඒත් නුවර වලව්කාර ඇත්තෝ වෙච්ච විහඟලගෙ අම්මල මට කැමති වුණේ නැහැ. ඒ අම්මලගෙ අකමැත්ත නිසා අපේ අම්මලත් ඒ හැටි මනාපයක් පෙන්නුවෙ නැහැ. 

ඉතින් අපිට වෙන් වෙන්න සිද්ධ වුණා. 

ඊට පස්සෙ කොච්චර දේවල් වුණාද? මං සහන්ව කසාද බැන්දා. කවි ගැන මුකුත්ම දන්නෙ නැති වුණාට සහන් කියන්නෙ නරක මනුස්සයෙක් නෙවෙයි. මට හුඟක් ආදරෙයි. ඊටත් වඩා චුට්ටක් බිස්නස් එකට ආදරෙයි..

මේ පොත මෙතනදිම බලනවද? ගෙදර ගිහින් බලනවද? එයාගෙ පොත මං ගත්තා කියලා කෝල් එකක් දීලා කියනවද? ඒත් පරණ නම්බර් එහෙම වැඩ කරනවද දන්නෙ නෑ. එයා ලබන අවුරුද්දෙ කසාද බඳින්න ඉන්නවයි කියල තමයි එදා හම්බ වුණ වෙලාවෙ මධූ කිව්වෙ. 

ගෙදර ගිහින් උයල, නාල, කාලා ඉවර වෙනකල්ම මං පොත අමතක කරලයි හිටියෙ. හදිස්සියෙම පොත මතක් වෙද්දි මං හිටියේ බාගෙට තෙත කොණ්ඩෙ පීර පීර.

මුල ඉඳන් පොත කියවන්න ඕනෙ කියල හිතන් හිටියත් මං පෙරළලා තිබෙ පොතේ මැද පිටුවක්.. 

ඒ පිටුවෙ තිබ්බෙ මෙහෙම කවියක්... 

කන්ද උඩ 
හුදෙකලා තණ බිමෙ 
අලුත් වැස්සට 
මල් පිපී ඇත 

ඒත් එහි එක
කෙළවරක මල් 
පිපී නැති එක 
හිස් තැනක් ඇත 

ඒ කිසි දිනෙක මල් 
පිපෙනු බැරි තැන 

කාලෙකට පෙර 
ඔබ සිටිය තැන......





Saturday, April 9, 2016

කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරනු පිණිස....

නුඹ ගැන ඔහුට නොපවසමි 
ඔහු ගැන නුඹට නොපවසමි 

ප්‍රේමය වෙන වෙනම ගෙන 
හෘද කුටීර දෙකක අසුරමි 

කාන්දු නොවන සේ 
අගුළු ලා මුද්‍රා තබමි 

එක් යතුරු කැරැල්ලක 
යතුරු දෙක අමුණා 
සක්වලගලින් එපිටට විසි කරමි 

ඉතින් හිතවත 
පොරොන්දු ප්‍රකාරව 
අත නුඹට දෙමි 
හිත නුඹට දෙමි 

එනමුදු 
ඒ සා විසල් ප්‍රේමයක් 
සැඟවූයේ කොහිදැයි 
නාසනු මැනවි..... 



Sunday, April 3, 2016

පෝලිම



මීට ටික දවසකට කලින් මම ආර්පිකෝ එකේ බිල් ගෙවන්න පෝලිමේ ඉන්නකොට ගෑණු කෙනෙක් එක පාරටම දඩ බඩ ගාලා දුවන් ඇවිත් මගෙ ඉස්සරහින් හිට ගත්තා. පෝලිමේ ගොඩක් අය හිටපු නිසාත්, එයාට තිබ්බෙ ෆෝන් බිලක් ගෙවන්න විතරක් නිසාත් එහෙම කරන්න හිතෙන්න ඇති. ඒත් කැෂියර් එකේ හිටපු ළමයා මගෙ බිල් එක දාලා දුන්නා. මම බඩු ටික අරන් යන්න හදනකොට එයාට කිව්වා "පෝලිම් පනින්න එපා" කියලා. 

එතකොට තමයි බෝම්බෙ පිපිරුණේ! 

"ඔයා කවුද මට පෝලිම් පනින්න එපා කියන්න? මම එහා පැත්තෙ කැෂියර් එකේ පෝලිමේ ඉඳලයි මෙතනට ආවෙ. අනිත් එක මට තියෙන්නෙ මේ බිලක් ගෙවන්න විතරයි." ඔන්න ඔහොම පටන් අරන් මහා හයියෙන් එතනට ආව හැම කෙනෙක්ටම ඇහෙන්න පටන් ගත්තෙ නැතැයි බනින්න. 

මේ වෙද්දි මට හොඳටම පරක්කු වෙලා තිබ්බ නිසා මට ඕනෙ වුණේ ඉක්මනට එතනින් යන්න. ඒත් මේ කෙනා කලේ වැරැද්දක් කියලා මම හොඳටම දැක්කා. ඉතින් එතන හිටපු ටයි එකක් දාගත්ත කෙනාට (එතන ප්‍රධානියෙක් වගෙයි හිටියෙ) ඒ පිළිබඳව කම්ප්ලේන් කරලා එළියට ආවෙ එතකොටත් රැකියාවට යන්න මම හොඳටම ප්‍රමාද වෙලා හිටපු නිසයි. ඒ යද්දිත් අර ගෑණු කෙනා මහ සද්දෙට තවත් මොනවද කියනවා. 

ඇයි ලංකාවෙ මිනිස්සු පෝලිමක ඉන්න මෙච්චර අකමැති? බස් එකකට නගින්න ගියත් අනිත් අය පෙරළගෙන හරි බස් එකට නැග ගන්නයි බලන්නෙ. හැම වැඩකදිම ෂෝට් කට් එකක් තමයි හොයන්නෙ. තමන්ගෙ වාරය එනකන් පෝලිමක ඉන්න එක මදිකමක් වගේ සලකන්නෙ ඇයි? 

බැංකු වල වගේ නම් මේ තත්වෙ අඩුයි. සමහර බැංකු වල ආරක්ෂක නිලධාරී මහත්මයා ගනුදෙනුකාර භවතුන් ව බලෙන්ම පෝලිම් වලට යොමු කරනවා. හරි නම් එහෙම කෙනෙක් ඉන්න අවශ්‍ය නැහැ. තමන්ම එන පිළිවෙළට ගිහින් පෝළිමක හිටගත්තනම් හරි. 

හැබැයි දැන් සමහර බැංකු වල ටෝකන් ක්‍රමය හඳුන්වලා දීලා තියෙනවා. ලංකා බැංකුවෙ වගේ. ඇතුලට ගියපු ගමන් ටෝකන් එකක් ගන්න ඕනෙ. ඒකේ අංකයක් සටහන් වෙලා තියෙනවා. ඊට පස්සෙ ඒ අංකෙ කතා කරනකම් වාඩි වෙලා ඉන්න ඕනෙ.

මේ මට වෙච්ච තවත් සිද්ධියක්.. 

එදා මම බැංකුවට ගියාම මට ලැබුණ අංකය වුණේ අංක 575. ඒ වෙලාවෙ කතා කරමින් හිටියෙ පන්සිය තිස් ගණන් වල් අංක වලට. ඉතින් මම වාඩි වෙලා මගේ වාරය එනකම් ඉන්නකොට පන්සිය අසූ ගාණක අංකෙකට කතා කළා.

මගෙ එහා පැත්තෙ වාඩි වෙලා හිටියෙ ඇන්ටි කෙනෙක්. එයා එක පාරටම මගේ ටෝකන් එකට එබිලා බැලුවා. 

"අන්න පන්සිය අසූ ගණන් කතා කලා. ඔයා ගිහින් අහන්න ඇයි ඔයාට කතා කළේ නැත්තෙ කියලා.." 

එතන ගනුදෙනු වෙන පිළිවෙල නම් මම දන්නෙ නැහැ. ඒත් එක එක ගනුදෙනු වලට එනම් කවුන්ටර් තියෙන බවත්, කතා කරන්නෙ ඒ කවුන්ටර් හිස් වෙන පිළිවෙලට බවත් මම දන්නවා. ඉතින් මට අදාල කවුන්ටරේ තවම හිස් වෙලා නැතුව ඇති කියලා හිතාගෙන මම සද්ද නැතුව හිටියා. 

මම ගනුදෙනුව කරගෙන ආපහු එනකොටත් ඒ ඇන්ටි එතන වාඩි වෙලා හිටියා. තාම එයාට කතා කරලා නැති පාටයි.

ඒත් එයා ඇයි එහෙම කිව්වෙ කියන එක නම් මට ප්‍රශ්නයක්...