Sunday, April 3, 2016

පෝලිම



මීට ටික දවසකට කලින් මම ආර්පිකෝ එකේ බිල් ගෙවන්න පෝලිමේ ඉන්නකොට ගෑණු කෙනෙක් එක පාරටම දඩ බඩ ගාලා දුවන් ඇවිත් මගෙ ඉස්සරහින් හිට ගත්තා. පෝලිමේ ගොඩක් අය හිටපු නිසාත්, එයාට තිබ්බෙ ෆෝන් බිලක් ගෙවන්න විතරක් නිසාත් එහෙම කරන්න හිතෙන්න ඇති. ඒත් කැෂියර් එකේ හිටපු ළමයා මගෙ බිල් එක දාලා දුන්නා. මම බඩු ටික අරන් යන්න හදනකොට එයාට කිව්වා "පෝලිම් පනින්න එපා" කියලා. 

එතකොට තමයි බෝම්බෙ පිපිරුණේ! 

"ඔයා කවුද මට පෝලිම් පනින්න එපා කියන්න? මම එහා පැත්තෙ කැෂියර් එකේ පෝලිමේ ඉඳලයි මෙතනට ආවෙ. අනිත් එක මට තියෙන්නෙ මේ බිලක් ගෙවන්න විතරයි." ඔන්න ඔහොම පටන් අරන් මහා හයියෙන් එතනට ආව හැම කෙනෙක්ටම ඇහෙන්න පටන් ගත්තෙ නැතැයි බනින්න. 

මේ වෙද්දි මට හොඳටම පරක්කු වෙලා තිබ්බ නිසා මට ඕනෙ වුණේ ඉක්මනට එතනින් යන්න. ඒත් මේ කෙනා කලේ වැරැද්දක් කියලා මම හොඳටම දැක්කා. ඉතින් එතන හිටපු ටයි එකක් දාගත්ත කෙනාට (එතන ප්‍රධානියෙක් වගෙයි හිටියෙ) ඒ පිළිබඳව කම්ප්ලේන් කරලා එළියට ආවෙ එතකොටත් රැකියාවට යන්න මම හොඳටම ප්‍රමාද වෙලා හිටපු නිසයි. ඒ යද්දිත් අර ගෑණු කෙනා මහ සද්දෙට තවත් මොනවද කියනවා. 

ඇයි ලංකාවෙ මිනිස්සු පෝලිමක ඉන්න මෙච්චර අකමැති? බස් එකකට නගින්න ගියත් අනිත් අය පෙරළගෙන හරි බස් එකට නැග ගන්නයි බලන්නෙ. හැම වැඩකදිම ෂෝට් කට් එකක් තමයි හොයන්නෙ. තමන්ගෙ වාරය එනකන් පෝලිමක ඉන්න එක මදිකමක් වගේ සලකන්නෙ ඇයි? 

බැංකු වල වගේ නම් මේ තත්වෙ අඩුයි. සමහර බැංකු වල ආරක්ෂක නිලධාරී මහත්මයා ගනුදෙනුකාර භවතුන් ව බලෙන්ම පෝලිම් වලට යොමු කරනවා. හරි නම් එහෙම කෙනෙක් ඉන්න අවශ්‍ය නැහැ. තමන්ම එන පිළිවෙළට ගිහින් පෝළිමක හිටගත්තනම් හරි. 

හැබැයි දැන් සමහර බැංකු වල ටෝකන් ක්‍රමය හඳුන්වලා දීලා තියෙනවා. ලංකා බැංකුවෙ වගේ. ඇතුලට ගියපු ගමන් ටෝකන් එකක් ගන්න ඕනෙ. ඒකේ අංකයක් සටහන් වෙලා තියෙනවා. ඊට පස්සෙ ඒ අංකෙ කතා කරනකම් වාඩි වෙලා ඉන්න ඕනෙ.

මේ මට වෙච්ච තවත් සිද්ධියක්.. 

එදා මම බැංකුවට ගියාම මට ලැබුණ අංකය වුණේ අංක 575. ඒ වෙලාවෙ කතා කරමින් හිටියෙ පන්සිය තිස් ගණන් වල් අංක වලට. ඉතින් මම වාඩි වෙලා මගේ වාරය එනකම් ඉන්නකොට පන්සිය අසූ ගාණක අංකෙකට කතා කළා.

මගෙ එහා පැත්තෙ වාඩි වෙලා හිටියෙ ඇන්ටි කෙනෙක්. එයා එක පාරටම මගේ ටෝකන් එකට එබිලා බැලුවා. 

"අන්න පන්සිය අසූ ගණන් කතා කලා. ඔයා ගිහින් අහන්න ඇයි ඔයාට කතා කළේ නැත්තෙ කියලා.." 

එතන ගනුදෙනු වෙන පිළිවෙල නම් මම දන්නෙ නැහැ. ඒත් එක එක ගනුදෙනු වලට එනම් කවුන්ටර් තියෙන බවත්, කතා කරන්නෙ ඒ කවුන්ටර් හිස් වෙන පිළිවෙලට බවත් මම දන්නවා. ඉතින් මට අදාල කවුන්ටරේ තවම හිස් වෙලා නැතුව ඇති කියලා හිතාගෙන මම සද්ද නැතුව හිටියා. 

මම ගනුදෙනුව කරගෙන ආපහු එනකොටත් ඒ ඇන්ටි එතන වාඩි වෙලා හිටියා. තාම එයාට කතා කරලා නැති පාටයි.

ඒත් එයා ඇයි එහෙම කිව්වෙ කියන එක නම් මට ප්‍රශ්නයක්...  

30 comments:

  1. පෝලිම් පනින්න පුලුවන් එකා හිතන්නේ ඌ හෙන ලොකු වැඩක් කරනව කියලා . හොඳම දේ පෝලිම් නැති හෝ අඩු වෙලාවට යන එක . පඩි ගන්න දවසට මං ඒ.ටී.එම්. එකට යන්නෙ උදේ පහට . එතකොට කව්රුත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් පෝලිම් පනිද්දි ඒක දැක දැක මුකුත් නොකියම බලන් ඉන්න වෙන එකත් හෙන අවුලක්.

      Delete
  2. ඒවායේ තියෙන්නේ Que Management Software එකක්. අංක ලැබෙන්නේ ඒ ඒ කලාප වලින්. ඒ කියන්නේ එක සේවාවක් එකසිය ගණන්වල ඉඳල තුන්සිය ගණන් වෙනකල්. තවත් සේවාවක් හාරසිය ගණන් ඉඳල තව ඉස්සරහට. ඒ වගේ. සමහරුන්ට ඕක තේරුම් ගන්න බැහැ.

    එකපාරක් මමත් ඔය අයිටම් 5 ට අඩුවෙන් පමණක් වන Express counter පෝලිමක ඉන්නකොට ලොකු තැනක මහත්තයෙක් එතනට ආව එයාගේ තඩි ට්‍රොලිය අරගෙන. ඉතින් අර කැෂියර් එකේ හිටපු ගෑනු ළමයා විනීතව කිව්වා වෙන පෝලිමකට යන්න මේක අයිටම් 5ට අඩුවෙන් තියෙන එක විතරයි කියල. අර 'මහත්තයා' පුපුරලා බෙරිහන් දෙන්න ගත්තා. අර ගෑනුළමයා හොඳින් තේරුම් කරමින්ම තමන්ගේ වැඩේ කරපු නිසා 'මහත්තයා' තර්ජනය කළා "මම එහෙනම් ගත්ත බඩු ටික දාල යනවා" කියල. අර ළමයා කිව්වා "හරි" කියල.

    පිචන් උනේ අර මහත්තයා. කරන්න දෙයක් නැහැ. නයෙක් වගේ පිඹිමින් එයා යන්න ගියා.

    මමත් වැටහෙන්නේ නැහැ ඒ මහත්තයට නොතෙරුනේ මොකද්ද කියල.

    ReplyDelete
    Replies
    1. ගත්ත බඩු ටික දාලා ගියාම පාඩුව වෙන්නෙ ඒ මහත්මයටමයි කියලා නොතේරුණ එක තමයි පුදුමෙ.

      සද්දෙ දැම්මම බය වෙලා බිල් එක දාලා දෙයි කියල හිතන්න ඇති එයා. කලින් සමහර විට එහෙම වෙන්නත් ඇති. එහෙම සද්දෙ දාද්දි බය වෙන එකත් එක විදියකට ගත්තම වැරැද්දට අනුබල දීමක්..

      Delete
  3. Replies
    1. ඔව් අප්පා.. පොඩ්ඩක් ඉවසන්න බැරි හැටි..

      Delete
    2. ඉවසීම විතරක් නෙවෙයි, විනීතකම, ආචාරශිලිකම නැතිකමත් ඕකටම අදාලයි නේද? ඔක්කොටම වඩා ආත්මාර්ථකාමී කම!

      Delete
    3. ඔව්.. කොටින්ම කිව්වොත් විනයක් නැති කම!

      Delete
  4. ලංකාවේ සමහරක් මිනිස්සු තවමත් ගල් යුගේ ජිවත් වෙනවා, එයාල හිතන්නේ චන්ඩිකම මහලොකු වීර ක්‍රියාවක් කියල..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. එහෙම කරලා තව සාධාරණේ කතා කරන්නත් එනවා..

      Delete
  5. පෝලිම් පනින්න පුරුදු උන මනුස්සය හැමදාම එහෙමයි .. කෝච්චි, බස් වලට නගිද්දී පෝලිමේ ගිහින් නගින ක්‍රමයක් අපේ රටේ නැහැනෙ ඉතින් ළඟ ඉන්න මනුස්සයව තල්ලු කරලා බැරිනම් පාගාගෙන හරි කමක් නෑ බස් එකට/කෝච්චියට නගින්නනේ හදන්නෙ ..මේ දේවල් නම් වෙනස් වෙන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. කෝච්චි බස් වල යන්න නම් එපා වෙනවා. ගොඩක් අය ළඟ කිසිම ආචාරශීලී බවක් නැහැ. :(

      Delete
  6. මගේ අදහස නම් මේකට හේතුව අපේ සමාජය එක power distance වැඩි සමාජයක් වීම. Power distance කියන්නේ මිනිසුන් අතර තත්ත්ව තරාතිරම් නිසා ඇතිවන බල පරතරය වැඩි සමාජයක් කියන එක. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ඇතුළු 'බටහිර' යැයි සැලකෙන සමාජවල මෙය අඩුයි. පාර සුද්ද කරන්නාත් සමාගම් අයිතිකරුවාත් වෙන ස්ථානයකදී එක සමානයි. එක සමාන දෙදෙනෙක් අතර අනෙකාගේ ස්ථානය පැහැර ගැනීම වෙනවා ඉතා අඩුයි. ඒකට හේතුව බල පරතරය අඩු නිසා entitlement over someone who is considered inferior හැඟීම ඔවුන්ගේ හිතට නො එන එක.

    Power distance වැඩි සමාජවල ටයි එකක් ඇඳ ලොකු තනතුරක් දරනවා යැයි සිතන අය එම ස්ථානයේ සිටින අනික් සාමාන්‍ය ගනු දෙණු කරුවන්ගෙන් සහ අඩු මට්ටමේ යැයි සලකන සේවකයන්ගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව power distance වැඩි නිසා ඇතිවන මම උසස් යැයි සිතා ඒනිසා I am entitled to priority යැයි හැඟෙන හැඟීම. මේවගේ අය වෙන රටකදී හම සුදු කෙනෙකුට එනම් තමන්ට වඩා ඉහල යැයි සිතන කෙනෙකුට පෝලිමේ තමන්ගේ තැන දෙන්න වුණත් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. (සුද්දා නොගත්තත්).

    මෙවන් අය ගැන සමීක්ශණයක් කර බැලුවොත් පෙනෙයි ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සමාජයේ පහල මට්ටම් වල සිට අධ්‍යාපනය නිසා හෝ අහම්බෙන් මුදල් ලැබීම නිසා ඉහලට පැමිණි අය බව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉයන් මේ දීර්ඝ කමෙන්ටුවට. ඔබේ අදහසට මම් එකඟ වෙනවා. මම කැම්පස් එකේදිත් දැකලා තියෙන දෙයක් ඕක.. මේ දවස්වල බුකියෙත් යන කතා බහක් නේ දොස්තරලට දොස්තර නොකියා නම කියන එක. ඒකෙදිත් ඔයිට සමාන අදහස් දැක්කා මම..

      ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට..

      Delete
  7. මේ දවස් වල රෙදිපිළි ගන්න යන අය දන්නවා ඔන්න පෝලිම් වල තත්වෙ.ඇතුලට යන එකේ ඉඳන් කැශියර් එක ලඟ,ෆිටෝන් පොට් එක.. පෝලිම්,වලි වැහි වැහලා.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ පෝලිම ගැන නම් කතා කරලා වැඩක් නෑ! එපා වෙනවා.. බොරුවට තෙරපෙන එක විතරයි.. හරියට ඇඳුමක් තෝරගන්නත් නැහැ..

      Delete
  8. මාත් ආවා මේ පැත්තේ ... ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මෙතූ! ජයවේවා!

      Delete
  9. පෝළිං ගැන නං මොනවට කියනවද? අපි වැඩවසම් ක්‍රමයෙ ඉඳං සමාජීය ක්‍රමික පරිණාමයකින් මේ නූතන තත්ත්වයට නො ආ එකේ වරද. ගොඩක් මිනිස්සු වැඩවසම් රාජාණ්ඩුවාදී මානසිකත්වයකින් වැඩ කරන්නෙ ඒකයි. අනික, සමහර මිනිස්සු පෝළිම් වලදි වෙගේම වෙනත් අවස්ථාවලදිත් වැඩ කරන්නෙ වැඩවසම් සමාජයටත් ගොඩක් කලින් හිටපු ගෝත්‍රික මානසිකත්වයකින්. එතනදි හයියෙන්ම කතා කළ හැකි නොදියුණුම මනසක් ඇති පුද්ගලයා මුදුන බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. එකඟ වෙනවා.. ඒ වගේම උසස් යැයි සම්මත රැකියාවල් කරන මිනිස්සු පවා බලාපොරොත්තු වෙනවා කිසියම් වැඩකදි වගේම පෝලිමකදිත් මුල් තැන හම්බ වෙයි කියලා.. එහෙම හිතන එක සාමාන්‍ය දෙයක් වෙලා දැන්.

      Delete
  10. මමත් ඉයන්ගේ අඩවියේ දැම්මා කොමෙන්ට් එකක් මට වෙච්ච් දෙයක් කියල. ඔඩු දුව ඇති ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ඉයන්ගේ අඩවියේ තිබූ ඔබේ කමෙන්ටුව කියෙව්වා. ඒක වැරැද්දක් කියලා අමතකම වෙන තරමට අපේ සමාජෙ ඕකට පුරුදු වෙලා ඉන්න එකයි වැරැද්ද...

      Delete
  11. නියමිත පරිදි පෝලිම් වල ගිහිං හැමදේම කර ගන්න එක ඉස්කෝලේ කාලෙම උගන්නනවානම් මේ ගැටළුව අඩු වේවි...
    ඉස්කෝලෙන් නැතත් කැම්පස් එකේදී ප්‍රගුණ කරපු ඒ දේ මමනම් අදටත් නොකඩවා කරනවා...
    ඒ වගේම තමයි කවුරුහරි පෝලිම පැන්නත් ගේම ඉල්ලන එකත් අඩු නැතුවම කරනවා...
    මේ ලඟදි මම කීල්ස් එකක පෝලිමේ ඉන්නකොට පැත්තකින් ආපු ගෑණු ළමයි දෙන්නෙක් හිමීට මගේ ඉස්සරහට එන්ටර් උනා...
    මම කිව්වම පෝලිමේ එන්න කියලා උන්ගෙන් එකෙක් මට කියනවා, "අපි එද්දී ඔයා පෝලිමේ හිටියේ නැහැනේ, අපි ඔයාට කලින් පෝලිමට ආවේ" කියලා...
    "ඔයාගේ ඇස් පේන්නේ නැද්ද, නැත්තං වෙන මොකක් හරි අසනීපයක්ද" කියල ඇහුවට පස්සේ මගේ පිටිපස්සට ආවා...
    ඒ අතරේ අනිත් කෙල්ල අර ළමයාගේ කණට කොඳුරලා මොනා හරි කිව්වා...
    සමහර විට ඒ ළමය දැනගෙන පෝලිම පනින්න ඇත්තේ, මගෙත් එක්ක ආගිව් කරපු කෙනා උඩ බලාගෙන ආපු නිසා මාව දකින්න නැතුව ඇති...

    ඉයන් පෙන්නපු පාර දිගේ මෙහෙට ආවේ...

    ReplyDelete
    Replies
    1. සමහර අය නම් පුරුද්දක් විදියට ඕක කරනවා නේද? එහෙම කරලත් තව කට ගහගෙන එන එක තමයි පෙන්නන්න බැරි.

      ඔක්කොටම කලින් ස්වයං විනයක් තියෙන්න ඕනෙ. ඒකයි වැදගත්ම. එතකොට තමයි වෙන කෙනෙක් වැරැද්දක් කළොත් ඒක නිවැරදි කරන්න පුළුවන්..

      ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවාට...

      Delete
  12. ඕනෙ තරං මේ අත්දැකීමට මූණ දීල තියනව සිතූ. මට හරියට කේන්ති යනව සාමාන්‍යයෙන්, ඒත් රණ්ඩු වෙන්න බෑනෙ ප්‍රසිද්ධියෙ. ඉවසං ඉන්නව ඉතින්. අන්තිමේ මගෙ ලේ ටික පිච්චිල

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් කේන්ති යනවා සාමාන්‍යයෙන්. වැරැද්දක් දැක්කම් ඉවසන්න බැරි ගතියකුත් තියෙනවා. ඒකයි මෙහෙම දේවල් වලට මුහුණ දෙන්නෙ..

      Delete
  13. හම්මච්චියෝ! ඔහොම කුමාරිහාමිලා, මහත්තැන්ලා මටත් ඇතිවෙන්න සෙට් වෙලා තියනව. ඕකට හේතුව 'මුල්වල අවුලක්'.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද අක්කෙ? එයාලව මුල ඉඳන් හරිගස්සන්න වෙනවා අපිට. ඒක කරන්න බැරි නිසා මෙහෙම ඉන්න වෙනවා.. රණ්ඩු වෙවී හරි..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......