Thursday, April 21, 2016

කිසි දිනෙක මල් පිපෙනු බැරි තැන

ඉස්සර අතට අහුවෙන හැම පොතක්ම කියවපු මං සරසවියට ගොඩ වුණේ කොච්චර කාලෙකට පස්සෙද? ඉස්සර රාක්ක වල තිබුනෙම හුරු පුරුදු පොත්පත්. වැඩ කරන අයගෙත් තිබුනෙ හුරු පුරුදු මුහුණු. ඒ ඔක්කොම මෙච්චර ඉක්මනට වෙනස් වුණේ කොහොමද? 

ඉක්මනට??

ඉක්මනට කියන්නෙ කොහොමද? අවුරුදුම දැන් කීයක්ද? දෝනිටත් දැන් අවුරුදුම හතරක්! 

ඒව හිත හිත මං ඇවිත් නතර වෙලා තිබුණෙ කවි පොත් රාක්කෙ ගාව. මගෙ ඉස්සරහ උන්නෙ කවදහරි මුණ ගැහෙයි කියල හිතපු ඒත් මෙහෙම මුණ ගැහෙයි කියලා කවදවත් නොහිතපු හීනයක්.. 

ඒ කාලෙ අපි දෙන්නගෙම හීනයක්. 

නිල් පාට කවරයක්. අතින් ඇඳපු චිත්‍රයක්. එයාට චිත්‍ර අඳින්න බෑනෙ. යාළුවෙක්ට කියල අන්දගන්න ඇති. ඒ කාලෙ ඉඳන්ම එයාට යාළුවෝ ඕසෙට. තේකක් බොන්න ඉඳගත්තත් ඇවිත් වටකරගන්න යාළුවො. මං කී දවසක් රණ්ඩු වෙලා ඇද්ද ඕකට. ඒත් හැමදාම, හැමතැනම එයාට යාළුවො. 

"කිසි දිනෙක මල් පිපෙනු බැරි තැන" 

එහෙමයි පොතට නම දාල තිබ්බෙ. ඒ මොකද්ද ඒකෙ තේරුම? ඒ කාලෙ ඉඳන්ම මට තේරෙන්නෙ නැත්තෙ එයාගෙ ඔය අමුතු කවි. මං ඉතින් කොහොමද ඔය කවි තේරුම් ගන්නෙ? ජීවිතේට මංම හිතල ලිව්ව පළවෙනි වගේම අන්තිම කවියත් එයාට ලිව්ව කොට. 

ම්ම්ම්... දැන් කොච්චර කල්ද හැබෑට.. මාව එයාට මතක තියෙනවද දන්නෙ නෑ. ඒත් අමතක වෙන්නෙ කොහොමද? එයාගෙ පළවෙනි ආදරේ මං වෙච්චි කොට. 

එයා ගැන මුලින්ම දැනගන්න කාලෙ මං ආදරේකින් පැරදිලයි හිටියෙ. "ගෙදරින් කැමති නෑ." ඒ විදියට අපේ සම්බන්ධෙට නැවතීමෙ තිත තිබ්බ මනුස්සය වෙන කිරිල්ලියක් එක්ක සවාරි ගහන බව මට කිව්වෙ ඒ කැම්පස් එකේ හිටිය මගෙ යාළුවෙක්. 

දැන් නම් එවරස්ට් කන්ද හිත උඩට කඩන් වැටුණත් ගාණක් නැති වුණාට මං ඒ කාලෙ කුරුලු පිහාට්ටක් ඇහේ වැදුණත් මහ හයියෙන් අඬපු කාලෙ, නොකා නොබී මාසයක් විතර ගෙයි මුල්ලෙ හිටියට පස්සෙ මධූ ඇවිත් බලෙන්ම මාව ආපහු කැම්පස් එකට ඇදන් ගියා. "උඹ මැරිල යන්නද හදන්නෙ?" එහෙම කියල බලෙන්ම මාව ලෙක්චර්ස් වලටත් ඇදගෙන ගියා. ඔහොම ගියපු මුල්ම සතියෙ දවසක මධූලගෙ ගෙදරින් ඇවිත් එයා වේලාසනම ගියා. මට එන්න වුණේ තනියම. 

ඒ එන පාරෙ මහ භායානක බංකුවක් තිබුණා. සංක මාව බලන්න ආව දවසට අපි දෙන්න පැය ගණන් වාඩි වෙලා කතා කර කර උන්නු බංකුව. එක එක දේවල් හිත හිත ආවත් ඒ බංකුව ළඟටම එද්දි මං බොහොම අමාරුවෙන් හදාගත්ත බැමි ටික කැඩිලා ගිහින් එක්වරම මං බංකුවේ ඉඳගෙන කඳුළු වගුරවමින් හිටියා. 

පැයකට විතර පස්සෙ ඔලුව උස්සල බලද්දි මගෙ එහා පැත්තෙ දැකල පුරුදු ඒත් නාඳුනන කොල්ලෙක් ඉඳගෙන හිටියා. 

ඒ විහඟ..

දැකල පුරුදු කිව්වෙ අපේ ෆැකල්ටියෙ නොවුණට වැඩි හරියක් හිටියෙ අපේ කැන්ටිමේ නිසයි. හැම වෙලාවෙම යාළුවො වට කරන් හිටිය කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්නවා පෙනුන කෙනෙක්. 

"අඬල ඉවරද ඔයා?' එයා එහෙම ඇහුවා. 

වෙන වෙලාවක නම් ලැජ්ජාවෙන් රතු වෙනවා වුණාට මං එවෙලෙ හිටියෙ ඉක්මනට එතනින් ගැලවිලා යන සිහියෙන්. තව හිටියොත් මොනව අහයිද දන්නෙ නෑ. 

"මං යනව." එහෙම කියපු මං එතනින් නැගිට්ටෙ ආපහු හොස්ටල් එකට යන්න. 

"ඉන්න. මං ඔයාව ඇරලන්නම්." එයත් එහෙම කියලා නැගිට්ටා. 

"එපා." එහෙම කිව්ව මං වේගෙන් ඈතටම ඇවිදන් ගියා. ටික දුරක් ඇවිදිද්දි දැක්කෙ මෙයා මං පස්සෙන්ම ඇවිත් විත්තිය. ඉක්මනටම යන සිහියෙන් හිටපු නිසා මං වේගෙන් දුවගෙන වගෙයි ගියේ. හොස්ටල් එකේ කන්ද නගිද්දි මං ආපහු හැරිල බැලුවා. එතකොට මං දැක්කෙ පහල ඉඳන් බලන් ඉන්න එයාව. 

මධූ ආපහු ආවට පස්සෙ විස්තරේ කිව්වම එයා කිව්වෙ මට අඩුගානෙ ස්තූති කරන්නවත් තිබ්බ කියලයි. ඒත් කාටද ඕව මතක් වෙන්නෙ? ආයෙ හම්බ වුණොත් කියන්න බැරියැ. මං එහෙමයි හිතුවෙ. 

ඊට පස්සෙ මං ඉඳහිට එයාව දැක්කත් එයාට ස්තූති කරන්න විදියක් තිබුණෙ නෑ මට. ඒ හැම වෙලාවෙම යාළුවො පිරිවරන් හිටිය නිසයි. 

"මහ උද්දච්ච කෙල්ලෙක්" එහෙමයි මං ගැන හිතුවෙ කියල මට පස්සෙ කාලෙකදි කිව්වෙ. 

ඊට පස්සෙ සතියෙ අපේ ෆැකල්ටියෙ ජායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා. ඔන්න එහෙදියි මං එයාව තනියම අල්ල ගත්තෙ. වැඩිය කවුරුවත් නැති හරියක හිටපු හින්දා කතා කරන්න ලේසි වුණා. 

"එදා හොස්ටල් එක ළඟටම ආවට තෑන්ක්ස් ඔයාට" එයාට මාව මතකද වත් කියල අහන්නෙ නැතුවයි මං එහෙම කිව්වෙ. 

"එදා ඔයා යන ගමන් වාහනේකටවත් පනියි කියල හිතුණ මට. ඒකයි ආවෙ." එහෙම කියල එයා හිනා වුණා. 

එදා තමයි එයාගෙ අර ඇස් පුංචි වෙන හිනාව මං මුලින්ම දැක්කෙ.

එයා කවියෙක්. එයාලගෙ ෆැකල්ටියේ කැන්ටිමේ රසම රස ෆ්රුට් සැලඩ් එකක් තිබුණා. අපි ඕක කන්න සතියට තුන් පාරක්වත් යන්න පුරුදු වෙලා හිටියා. ඔහොම ගිය දවසක අහම්බෙන් තමයි මං එයාගෙ කවි දැක්කෙ ඒ නෝටිස් බෝඩ් එකේ. කවි ගැන ඉන්ටරස්ට් එකක් කොහෙත්ම නොතිබ්බ මං ඊට පස්සෙ හැම සතියෙම නෝටිස් බෝඩ් එකේ එයාගෙ කවි කියවමින් හිටියා. 

ඊට පස්සෙ එයා එක්ක එයාගෙ කවි ගැන කතා කරමින් හිටියා. කවි ගැන මෙලෝ අදහසක් ඔලුවෙ නොතිබ්බ මං එයාගෙ කවි විතරක්ම කියවලා ඒ ගැන මගේ අදහස් කියමින් හිටියා. 

ටික කාලෙකට පස්සෙ මං ජීවිතේ මුලින්ම ලිව්ව කවිය ලියලා තිබුණා. 


සති පතා කවි පිටුවෙ නුඹ ලියු 
කවි පේළි මම දකිනවා 

නුඹේ මිතුරන් එ'කවි කියවා 
හරි අගෙයි යැයි කියනවා 

ඒත් මම නම් තාම කැමතිම 
නුඹ එදා මට නොකී කවියට 
මගේ ගැන නුඹ නොලියූ කවියට...


ඊට ටික කාලෙකට පස්සෙ අපි අත් අල්ලන් අර මුලින්ම අපි හම්බ වුණ බංකුවේ වාඩි වෙලා හිටියා. 

මෙච්චර කාලයක් ගිහිල්ලත් මේ ඔක්කොම මට මතක එක පුදුම හිතෙන තරම් කාරණාවක් නේද? ඒත් ඉතින් අපි කතා කරපු සමහර දේවල් ඒ විදියටම මට මතක එකේ ඕක එච්චර දෙයක් නෙවෙයි.. 

කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සෙ අපේ අම්මලට ඕනෙ වුණා මේවා පිළිවෙළක් කරන්න. වෙන වචනවලින් කියනවා නම් අපිව කසාද බන්දන්න. ඒත් නුවර වලව්කාර ඇත්තෝ වෙච්ච විහඟලගෙ අම්මල මට කැමති වුණේ නැහැ. ඒ අම්මලගෙ අකමැත්ත නිසා අපේ අම්මලත් ඒ හැටි මනාපයක් පෙන්නුවෙ නැහැ. 

ඉතින් අපිට වෙන් වෙන්න සිද්ධ වුණා. 

ඊට පස්සෙ කොච්චර දේවල් වුණාද? මං සහන්ව කසාද බැන්දා. කවි ගැන මුකුත්ම දන්නෙ නැති වුණාට සහන් කියන්නෙ නරක මනුස්සයෙක් නෙවෙයි. මට හුඟක් ආදරෙයි. ඊටත් වඩා චුට්ටක් බිස්නස් එකට ආදරෙයි..

මේ පොත මෙතනදිම බලනවද? ගෙදර ගිහින් බලනවද? එයාගෙ පොත මං ගත්තා කියලා කෝල් එකක් දීලා කියනවද? ඒත් පරණ නම්බර් එහෙම වැඩ කරනවද දන්නෙ නෑ. එයා ලබන අවුරුද්දෙ කසාද බඳින්න ඉන්නවයි කියල තමයි එදා හම්බ වුණ වෙලාවෙ මධූ කිව්වෙ. 

ගෙදර ගිහින් උයල, නාල, කාලා ඉවර වෙනකල්ම මං පොත අමතක කරලයි හිටියෙ. හදිස්සියෙම පොත මතක් වෙද්දි මං හිටියේ බාගෙට තෙත කොණ්ඩෙ පීර පීර.

මුල ඉඳන් පොත කියවන්න ඕනෙ කියල හිතන් හිටියත් මං පෙරළලා තිබෙ පොතේ මැද පිටුවක්.. 

ඒ පිටුවෙ තිබ්බෙ මෙහෙම කවියක්... 

කන්ද උඩ 
හුදෙකලා තණ බිමෙ 
අලුත් වැස්සට 
මල් පිපී ඇත 

ඒත් එහි එක
කෙළවරක මල් 
පිපී නැති එක 
හිස් තැනක් ඇත 

ඒ කිසි දිනෙක මල් 
පිපෙනු බැරි තැන 

කාලෙකට පෙර 
ඔබ සිටිය තැන......





76 comments:

  1. කතාවත් හරි කවියත් හරි මතකය ගොඩක් දුර ඇදන් ගියා හරිම අපුරැයි සිතූ නංගී (කලින් කමන්ට් එකට මොකක්ද වුනා ඒ නිසා දොවනි කමන්ට් එකක් ලියන්න සිද්ද වුනා)

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි අක්කෙ..

      මං ස්පෑම් ෆෝල්ඩර් එකෙත් බැලුවා. තිබ්බෙ නෑ කමෙන්ට් එක. ගූගල් දෙයියා ගිලලද කොහෙද ඒක..

      Delete
  2. කවි හිත් එක්කරන හිත් බිදුනත් තනි නොකරන කවිය

    ReplyDelete
  3. කටු කම්බි ටිකකින් වටකරලා හිස් බිම තියාගෙන ඇත්තේ විහඟ කාගේවත් පය නොපෑගෙන්න....ඇත්තටම සිත අයාලේ දුවන හැටි පුදුමයි නේද...?

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඔව්.. එහෙම තියාගෙන ඇති ඒ ඉඩ..

      හිත කියන්නෙ මහ පුදුම දෙයක්. කොයි වෙලාවෙ මොනව කරයිද කියලා හිතාගන්න බැහැ.

      Delete
  4. අන්තිමට සුනිල් එදිරිසිංහ මහතාගෙ හිත මහ පුදුම තැනක් කියන ගීතය තමා මට මතක් වුනේ.

    ReplyDelete
    Replies
    1. මං අහල නෑ ඒ සින්දුව.. අහලා බලන්න ඕනෙ.. ස්තූතියි කසුන්ට ඒ සින්දුව ගැන කිව්වට...

      Delete

    2. හිත මහ පුදුම තැනක්
      හිත මහ පුදුම තැනක්
      දිදුලන මහරු මිණක්
      හසරැල් වතළ වතක්
      විටෙකදි නොනිම් දුකක්
      හිත මහ පුදුම තැනක්

      නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
      ඉක්මන රිසි වූ විට හිත නැවතුණ තැන ඉන්නවා
      ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
      හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

      අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
      අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
      හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
      හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

      ගී පද - බන්දුල නානායක්කාරවසම්.
      ගී තනු - එච්. එම. ජයවර්ධන
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    3. ගොඩක් ස්තූතියි අරුණ..

      මම අදමයි ඇහුවෙ සින්දුව.. ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම...

      Delete
  5. ලිවීමේ ගලායෑම හරිම ලස්සනයි... කවියක් වගේ කියන්න ඕන වුනත් මේකෙ අස්සෙත් කවියකුත් තියෙනවනේ.
    මම ඔයාව අඹගහයටට ඇඩ් කලා. කරදරයක් නම් මේල් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිව්වොත් කවි දෙක ලිව්වෙ මීට හුඟක් කාලෙකට කලින්.. කතාවට නිමිත්තක් අහු වුණේ නම් ළඟදි.. ඒකයි මේකෙන් කතාවක් ලිය වුණේ..

      ගොඩක් ස්තූතියි ඇඩ් කළාට.. කරදරයක් නෙවෙයි. :)

      Delete
  6. අර කවිය මාර විදිගට හිතට ඇල්ලුවා.............. ඒක හීනියට ලොකු දෙයක් කියලා නේද????????

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඔව් ඔව්.. ඒකෙන් ලොකු දෙයක් කියන්න තමයි උත්සහ කළේ.. :)

      ගොඩක් ස්තූතියි...

      Delete
  7. ඊයෙ පෙරේද ෆලෝ කරන්න පටංගත්තෙ.සෑහෙන සතුටක් දැනුනා ගස්ලබ්බට ඒ තීරණේ ගැන. හරිම සුන්දර සීතල තෙතබරිත කොලපාට ලියවිල්ලක්...
    හරිම කැමතියි මේකට.
    තව තව කෑලි එල්ලන්න ගියා නම් වැඩේ චොර වෙනවා.. පරිස්සමින් ලියලා වගේ.ඇත්තටම කැමතියි මේ පෝස්ටුවට.. කවි වලට...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අන්තිම ටික නම් හදිස්සියෙන් වගේ ලිව්වෙ. ඒ ඉවර කරන්න තිබ්බ ඕනෙකම නිසයි. මට හිතුණා කතාව දිග වැඩිදත් කියල. ඒත් එහෙම නැති බව තේරුණා මේ කමෙන්ටුවෙන්.

      ගොඩක්ම ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  8. සුපිරියි..සිතූ
    සියළු පහේ පදමට තියනව..අඩුත් නෑ වැඩිත් නෑ...හිත සසල වුනා

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි අක්කෙ. :)

      Delete
  9. ලස්සනයි සිතූ... කවිය හුඟක්ම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. කවිය ලිව්වෙ නම් කාලෙකට ඉස්සර. ගොඩක් ස්තූතියි..

      Delete
  10. පොත් ගුල්ලියක් පොතක් කියවන්න ගත්තට වඩා කතාවක් ලියන්න ගත්තම භයානකයි. අති භයානකයි.. හිහි..
    පිස්සු කොර

    ජීවිතේ අතරමැදින් කී දෙනෙක්ට ජීවිතේ මගෑරෙනවද.. ආයෙ ආයෙම මඟ දිගට හමුවෙද්දි කොයි තරං රිදෙනවද...

    හිතුවෙවත් නැති දවසක හිතන්නැතිවය ළවුණා
    අතීතේ දුර ඈතක ආදරේ මඟ වැරදුණා..
    අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
    හමුවුණා ඒ පාරෙම....

    කතාව ලස්සනයි සිතූ.. ඊට වඩා ගලපල ලියල තියෙන විදියට ඒ ෆැසිනේට් ගතියට මනාපයි... ජයවේවා

    ReplyDelete
    Replies
    1. කතාව මේ විදියට ලියවෙන්න මගෙ කලින් කතා කියවලා මහේෂ් අයියා දක්වපු අදහසුත් ගොඩක්ම උපකාර වුණා.. මේ කතාවෙත් වැරදි තියෙනවා නම් පෙන්වලා දෙන්න ඕනෙ හොඳද?

      එහෙම ජීවිතෙ මුලදි මඟ ඇරිච්ච අය ආයෙ හම්බ වෙන්නෙ නැත්තම් හොඳයි නේද? මොනම විදියකින්වත්? එතකොට වෙන්නෙ නිකන් දුක හිතෙන එක විතරයිනෙ? ආපහු හැරෙන්න බෑනෙ එතකොට..

      ආපහු ආව එක ගැන ගොඩක් සතුටුයි.. :D

      ගොඩක් ස්තූතියි ආයෙමත් හැමදේටම..

      Delete
  11. කථාවත් කවි දෙකමත් හරිම ලස්සනයි. මගේ අත්දැකීමකට සමීපයි. ඒත් කථාවේ තේරුම ලස්සන නැහැනෙ. එහෙම නොවෙන්න තීරණයක් ගන්න බැරිවුණේ ඔහුටද ඔබටද? මගේ මේ වගේ කථාවේදි මට. මම ලිව්වෙ සිංදුවක්. ඒක මෙතන

    ReplyDelete
    Replies
    1. මේක මගෙ අත්දැකීමක් නෙවෙයි ඉයන්. මං බොහොම කාලෙකට කලින් ලිව්ව කවියකට ගැළපෙන කතා නිමිත්තක් මේ ළඟදි හම්බ වෙච්ච නිසයි මේ කතාව ලියවුණේ. ඉතින් තීරණේ ගන්න බැරි වුණේ කාටද කියල හිතන එක කියවන ඔබට බාරයි..

      සින්දුව ඇහුවා.. සත්‍ය සිදුවීමක් කිව්ව නිසාද මන්දා ටිකක් වැඩිපුර හිතට දැනුණා..

      ගොඩක් ස්තූතියි...

      Delete
  12. කවිය මූණුපොතේ කියෙවුවට වඩා සිය ගුණයකින් හිතට දනුනේ දැන්.
    මාරයි.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කටුස්සෝ... :)

      Delete
  13. හදවතේ අවසේස හැම තැන,
    මල් කැකුළු සහසක් පිපී ඇත,
    වැතිර සුවඳැති එමල් ගොමු මැද,
    බලා හිඳිනෙමි එදෙස,
    කිසිදාක නොසැලෙන කඳුලු අතරින,
    එදෙස,
    මල් පිපෙනු බැරි තැන දෙස,

    ReplyDelete
    Replies
    1. මෙන්න රවී තුමා ගෙන් මගේ බ්ලොග් එකට කමෙන්ටුවක්! :D

      කවිය නම් හුඟක් අපූරුයි..

      ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට..

      Delete
  14. පුදුම ලස්සනයි සිතූ. කියන්න වචන නෑ. අර කවිය පේලි දෙකයි තුනයි, ඒත් කොයි තරම්නම් දේවල් කියනවද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සයුරි...

      කවිය තමයි ඉතින් මුලින්ම ලිව්වෙ. කතාව ලියවුණේ පස්සෙ.. :)

      Delete
  15. සිතු පැතු ලෙසම ලියන සිතු.. එළම කිරි!

    බ්ලොග් වසන්තයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි!

      බ්ලොග් වසන්තයට ජය වේවා! :D

      Delete
  16. නියමයි අක්කෙ! හිතටම වදින්න ලියලා තියෙනවා!ඔක්කොටම වඩා ලස්සන කවි දෙක

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සාකියා.. මේ පැත්තෙ ආවටත්.. කමෙන්ටුවටත්....

      Delete
  17. Replies
    1. මල්ලි ගොඩක් කාලෙකින් වගේ.. ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට.. ඒ වගේම කමෙන්ටුවටත්..

      Delete
  18. ඕකනෙ මං කවි අතෑරලම දැම්මෙ.. හි හි

    ReplyDelete
    Replies
    1. මං මේ අතෑරගන්න බැරුව ඉන්නෝ.. :(

      Delete
  19. අගෙඉයි ...
    ජයවේවා"

    ReplyDelete
  20. අනේ මචං.. දඩාන් ගාල මේවා ඔලුව උඩට අත අරින්න එපා බං.... අකුරු අස්සේ අපේ කතා එළියට එනවා බං...

    ReplyDelete
    Replies
    1. එළියට ආපු කතාවක් දෙකක් බ්ලොග් එකේ දැම්මොත් මොකද නාඩියො?

      Delete
  21. සිතූගෙ සිතුවිලි මහද කුටීර අතරට වැද එහි රුහිරු හා මුසුව තවත් එක් හිස්තැනක් සුන්දරත්වයෙන් පිරවීය.

    ReplyDelete
    Replies
    1. මෙතුවො හෙනම බරපතල කමෙන්ට් එකක් ලියලනෙ.. හෙන අමාරුවෙන් තේරුම් ගත්තෙ ඈ..

      ගොඩක්ම ස්තූතියි..

      Delete
  22. විරහවට වඩා ප්‍රේමයත්, ප්‍රේමයට වඩා විරහවත් තියන කතාවක්... මැවිලා පෙනුන රූප. අපූරුයි සිතු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කෙ.. :)

      Delete
  23. නුගේගොඩ සරසවිය...! මතකයන් ගොන්නක්...! :-(

    ReplyDelete
    Replies
    1. දැන් මතක අමතක වෙලාද? :(

      ලියන්නකෝ ඒ ගැන..

      Delete
  24. කතාවත් ගොඩාක් ලස්සනයි කවියත් ගොඩාක් ලස්සනයි සිතු,හිත කොහේදෝ නතර වුනා වගේ දැනේනවා,නිර්මාණශිලි කතාවක් සිතු,

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි දහස් වලට... :)

      Delete
  25. හරි අගෙයි නංගි.. කතාවත් කවියත්.. කවිය නම් හිතට වැදුනා ! අත හැරුණු හීන සහ ගැල්පීම් ගැන අපූරු කතාවක් ! ඒ එක්කම නොගැලපීම් කැපකිරීම් බවට පෙරලන ජීවිත ගැනත් මතක් වුනා !

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි අක්කෙ අදහසට.. හීන නම් අතෑරෙනවා ගොඩක්.. ඒත් හැබෑ කරගන්න හීන වල වගේම අතෑරෙන හීන වලත් අමුතු රසයක් තියෙනවා..

      Delete
  26. සිතූ කවි ලියන්නේ නැහැ කීවට මේ ලියන්නෙ හරි අපූරු කවි.කතාවත් හිතගත්ත. ඔක්කොමත් එක්ක මේ අන්තිම කවිය තදටම දැනුන :)

    ReplyDelete
    Replies
    1. ඒක හුඟක් කාලෙකට කලින් ලියපු කවියක් හංසි. කතාවට නිමිත්තක් අහු වුණේ ළඟදි නිසයි ඒකට කතාවක් ලිව්වෙ මං..

      හදිස්සියේ අදහසක් පහළ වුණොත් මිසක් කවි ලියන්න නෑ ඉතින්..

      ගොඩක් ස්තූතියි කමෙන්ටුවට!

      Delete
  27. හරිම ලස්සනයි සිතූ..අර හංසි කියනවා වගේ ඔයා කවි ලියන්නේ නැහැ කිව්වට මේ ලියල තියෙන්නේ අගේ ඇති කවියක්..කතාවත් එක්ක බොහොම සංවේදීව ගැලපෙන පද ටිකක්...කතාවයි පද පෙළයි දෙකම බොහොමත්ම වින්දා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අදහසට.. ළඟකදි නම් කවියක් ලිව්වෙ නෑ ඉතින්.. මේවා මේ පරණ කවි.. :)

      Delete
  28. කවි එක්ක යන කතන්දර..

    පරණ මගේ කතන්දර මතක් කරලා එලියට දානවා !!

    ReplyDelete
    Replies
    1. ඒ මතක් වෙච්ච කතාවක් දෙකක් ලියල දාන්න සැමා.. :)

      Delete
  29. ඒක හිත නතර කරවන සුළු කවියක්.. කතාව ඇත්තක් වුණත් නැතත් සිතූ අක්කා ඒක ඉතාම අපූරුවට වචනයෙන් වර්ණ ගන්වලා තිබෙනවා.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කතාව නම් ඇත්ත නෙවෙයි නංගෝ.. ඒත් ඉතින් අපි නොදන්න කෙනෙක්ගෙ ඇත්ත කතාවක් වෙන්නත් පුළුවන්..

      ඔයාට ගොඩාක් ස්තූතියි මේ කමෙන්ටුවට... :)

      Delete
  30. සිතූ, මම ළඟකදි කියවපු ලස්සනම ලස්සන කතාන්දරයක් මේක. මට මේකට එවෙලෙ හිතට දැනුණ දේ කියලා යන්න හිතුණේ නෑ, ටිකක් වෙලා අරගෙන හිතට දැනුණ දේ උපරිමයෙන්ම කියන්න ඕන වුනා. මෙන්න මගේ ඒ උත්සාහය. ඔයාත්, ඔයාගේ මේ කතාන්දරයට ආදරේ කරන අනිත් යාළුවොත් මං කියන මේ කතාවට අකමැති නැති වෙයි කියලා හිතනවා. :)

    ***

    සිය කුළුඳුල් කවි පොතෙහි සෝදුපත් ගොන්න මත වූ නැවී ගිය, නැවුම් පාරවල් ඔස්සේ දෙතුන් තැනෙකින් ඉරෙන්නට ලංව තිබූ දුර්වර්ණ කඩදාසිය මත විහඟ හිස තබාගත්තේය. සෝදුපත් කියැවීම පසෙක ලා ඇඳ යට සඟවා අමතක වන්නට ඉඩ හැර තිබූ පොත් පත්තර ගොන්න අවුස්සන්නට තමාට සිතුණේ මන්දැයි නැවත නැවතත් කල්පනා කරමින් ඔහු හදවතින් නැගී හිසෙන් පිට වන්නට තැත් දරන වේදනාව එම කඩදාසියට ආරෝපණය කරන්නට මෙන් දෙතුන් වරක් නළලත ඔසවා යළි යළිත් හිස ගසාගත්තේය.

    ඈ ලියූ එකම කවිය එය විය. ඔහු ඒ බව හොඳින්ම දනියි. එය ලියැවුණේ ඔහුටය. ඉන් පසු ඇය යළි කිසිදාක කවි ලිව්වේ නැත. එම අතීතය අමතක මතක අතර අතරමං කරන්නට සිදුවීමෙන් පසුව වුවද ඇය තවත් කවි ලියන්නට නැත. ඒ බව නිසැකවම දැන සිටීමට තරම් ඔහු ඈ ගැන දැන සිටියාය. ඔහු ඒ බව දන්නා බව ඇයද දන්නා බව ඔහුට සැකයක් නැත. ඒ තරමටම ඇයද ඔහු ගැන දැන සිටියාය. එය සොඳුරු අතීතයකි. එම අතීතය කිසිදා අමතක නොවන, අමතක කළ නොහැකි සොඳුරු කවියකි.

    ඔවුනට වෙන් වන්නට සිදු වූයේ ඔහුගේවත් ඇගේවත් වරදක් නිසා නොව, කුල මානය හිස දරාගත් මව්පියන්ගේ අකැමැත්ත නිසාය. උවමනානම් මව්පියන්ගේ විරෝධතාවය නොසලකා ඇයව විවාහ කරගැනීමට ඔහු සූදානමෙන් සිටියද ඇය එයට එකඟ වූයේ නැත. මුළදී ඔවුන් දෙදෙනාට සහයෝගය දුන් ඇගේ දෙමව්පියන් පවා ඔහුගේ මව්පියන්ගේ විරෝධතාවය හේතුවෙන් පසුව අකමැත්ත පළ කරන්නට විය. එබැවින් අවසානයේදී ඔවුන් දෙදෙනා තීරණයකට එළැබුණි. එය සියල්ලන්ගේම යහපතට හේතු වන බවට හැඬූ කඳුළින් ඈ පැවසූ වදන් විශ්වාස කරන්නට ඔහු පොරොන්දු විය.

    දැන් ඇය කොතැනක කෙලෙසින් සිටිනවාදැයි ඔහු දන්නේ නැත. උවමනානම් හොයා බලන්නට හැකි බවද ඔහු නොදන්නේ නැත. නමුත් එමගින් සිය අගුළු ලා සිටින හදවත එම යදම් බිඳී යන තරම් වැරෙන් ගැහෙන්නට පටන් ගනීදෝයි යන බිය හේතුවෙන් ඔහු එසේ කරන්නට උත්සාහයක් පවා දැරුවේ නැත.

    එළැඹෙන වසරේ ඔහු විවාහ වීමට නියමිතය. ඒ ඔහු මව්පියන් හා කතාබස් නොකර ගෙවුණු සති කිහිපයෙන් අනතුරුව එළැඹි නින්දත් අවදියත් අතර වෙනස හඳුනාගත නොහැකිව ගෙවුනු සති කිහිපයෙන්ද අනතුරුව ගෙවුණු තවත් වසර ගණනාවකට පසුව, මව්පියන්ම ඔහු වෙනුවෙන් සොයා දුන් තැනැත්තියකි. තරමක් දුරින් ඔහුගේ ඥාති සොයුරියකි. ඇගේ වරදක් නැත. ඔහුගේ උදාසීන මුහුණට මද සිනහවක් නංවන්නට ඈ සමත් වූ දා ඔහුගේ අකමැත්තක් නැති බව ඔහු සිය මව්පියන්ට පැවසුවේය. ඉන් දෙතුන් මසක ඇවෑමෙන් ඔහුගේ නිදිගත් පන්හිඳ යළි අවදි විය. ඔහුගේ හදවත වෙනත් තානමකින් සුසර කරන්නට සමත් වූ ඈ වෙනුවෙන් ලියැවුණු එම කවිය ඔහුගේ කවි පොතේ මුල්ම කවිය ලෙසින් සෝදුපත් අතර මුදුණෙන්ම වැජඹෙමින් තිබුණි.

    ඔහු හිස එසවුවේය.

    එම නව තානමින් ලඟා විය නොහැකි ස්වර පරාසයක් ඔහුගේ ජීවිතයේ ඇත. දුහුවිලි මකුළු දැල් ගත පුරා දවටාගනිමින් ඔහු අතීත අමතක මතක ගොන්න ඇඳ යටින් පිටතට ඇද්දේ සිය කුළුඳුල් කවි පොතට සිය ජීවිතයේ සෑම ස්වරයක්ම ඇතුලත් කළ යුතු බවට දැනුණු ඕනෑකම හේතුවෙනි. අමතක කරන්නට උවමනාවෙන්, එනමුදු විසි කරන්නට හෝ ගිනි තබන්නට ලෝබ කමින් සඟවාගෙන සිටි එම කඩදාසිය රඳවා තිබුණේ කුමන පොත තුළද යන්න පවා ඔහුට හොඳින් මතක තිබුණි.

    ඈ වෙනුවෙන් එතෙක් නොලියූ කවිය ඔහු එම මොහොතේදී ලීවේය.

    කවි පොත වෙනුවෙන් එතෙක් සිතාගත නොහැකිව තිබූ නමද කිසිදු වෙහෙසක් නොදරාම ඔහු සටහන් කළේය.

    ඔහුගේ හදවත ආදරයත්, විරහවත්, සන්තාපයත්, සැනසීමත් මුසු වූ සැනසිලිදායක රිද්මයකින් වැයෙන්නට පටන් ගත්තේය.

    ReplyDelete
    Replies
    1. අක්කෙ, ඔයා දන්නවද මං බ්ලොග් කියවන්න ආපු මුල්ම කාලෙ ඉඳන් ගොඩක්ම ආසාවෙන් කියවපු බ්ලොග් එකක් තමයි ඔයාගෙ බ්ලොග් එක. ඔයාගෙ බ්ලොග් එකේ ගියපු කතාවලින් මං ආසම අර "හදවත සපුරා පවසමි ඉඳුරා" කියන කතාවට. ඒක මං බුක් මාර්ක් කරගෙනත් තියෙනවා.. :)

      ඒ වගේම නම හරියටම මතක නැති ගෙම්බගෙ ආදර කතාවටත්, ඒ වගේම අර මල්ලි බලන්න යන මනමාලිට අයිය කැමති වෙන කතාවටත් හරිම කැමතියි..

      ඉතින් ඒ වගේ මං හුඟක් කැමති කතා ලියන අක්කගෙන් මේ වගේ කමෙන්ට් එකක් ආපු එක ගැන මං ඉන්නෙ හුඟක් සතුටෙන්. හරිම ලස්සනයි මේ කතාව. මං කියන්න හදපු දේ පොඩ්ඩක්වත් වෙනස් කරන්නෙ නැතුව මං කැමතිම විදියට ඒ කතාව ලියල තියෙනවා.. :) ඇත්තටම මට හුඟක් සතුටුයි. ඒ වගේම ගොඩක් ලොකු ගෞරවයක් මේක මට! :D

      අක්කට ගොඩක්ම ස්තූතියි! :D

      Delete
    2. ඔයා මේ කතාවට කැමති වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි සිතූ. මගේ අනිත් කතන්දර ගැන කියපු දේවල් වලටත් ගොඩාක් ස්තූතියි.

      ඔයා මේ මූණු පොතේ 'පොත් කියවන අය' ගෲප් එකේ ඉන්න සිතුවිලි සිතූමයි නේද? එකම පින්තූරේ නිසා මම එහෙම හිතුවෙ. ඒ ඔයාමනං, අපි දෙන්නා එතනදිත් කතා කරලා තියෙනවා සමහර පොත් ගැන. (ඒකෙ මං ඉන්නෙ මගේ ඇත්ත නමින් හැබැයි.) මේ දවස් වල මගේ බ්ලොග් එකේ පළ වෙන පරිවර්තනය දැක්කොතින් ඔයාට මතක් වෙයි. :)

      Delete
    3. ඔව් ඔව්.. මං පොත් කියවන අය ගෘප් එකේ ඉන්න "සිතුවිලි සිතූ" තමයි.. පරිවර්තනය බැලුවම නම් මම හිතන්නෙ මට මතක් වුණා.. මං හිතන කෙනා හරි නම් Goodreads එකෙත් මං ඔයාගෙ Follower කෙනෙක්ද කොහෙද... :) ඒ කියන්නෙ ඔයා මං පොත් කියවන අය ගෘප් එකේදිත් කැමතිම කීප දෙනාගෙන් එක්කෙනෙක්! :)

      Delete
    4. නෑ සිතූ, ඒ මම වෙන්න බෑ. මම Goodreads එකේ කිසිම දෙයක් ලියලා නෑ. :)

      Delete
    5. අයියෝ.. එහෙනම් ඔයා මං හිතන කෙනා නෙවෙයිද? :(

      Delete
    6. සිතූ, මම මූණු පොතේ ඔයාට ඊයෙ පණිවිඩයක් එව්වා, වෙලාවක් තියෙනවනම් බලලා උත්තරයක් එවන්ඩකෝ. (ඉක්මණට උත්තරයක් ගන්ඩ හිතාගෙන මදැයි මූණු පොතෙන් එව්වා, තාම ඒක බලලවත් නෑ! :P)

      Delete
    7. අනේ අක්කෙ ආයෙමත් පාරක් සමාවෙන්න ඕනෙ.. අද තමයි මං ඒ මැසේජ් එක දැකලා රිප්ලයි කළේ..

      Delete
  31. සොඳුරු අතීත මතක සටහනක අපිව අතරමං කිරීම ගැන විභීෂණ ගේ බලවත් විරෝධය....

    ---------

    ReplyDelete
    Replies
    1. සමා වෙන්ට ඕනෙ එහෙනම් විභීෂණ...

      Delete
    2. ගොඩක් අයට මේ අත්දැකීම පොදු ඇති..

      Delete
  32. මල් පිපෙනු බැරි නැත
    නුඹ හිටපු තැන මත
    නුඹ මාගේ මතක යටකොට
    තවත් මල් එහි පිපෙනු ඇත
    මිලින වුවද
    අප නමින් වූ මල
    තව උන් නමින්
    එහි මල් පිපෙනු ඇත.

    නුඹ සිටිය තැන අද
    තවකෙකුද සිටිනු හැක
    මලක් පූදින සිනියක හිඳ
    බලා සිටිනු ඇත

    තවත් කුමටද කරමුද
    එතන අවහිර
    ඉඩදී හින්සිමු අපි
    මල් පිපෙන්නට හැර
    නුඹ මා නමින් නොව
    ප්‍රේමයේ නමින් ලොව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ලස්සනයි කවිය... :)

      Delete
  33. How did you create this story. Its heart touching. Good at all.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි... :)

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......