Monday, May 2, 2016

මඟුල් මාසෙ..

මේ පටන් ගන්නෙ මැයි මාසෙ. එහෙම නැත්තම් මඟුල් මාසෙ. අවුරුදු කාලා රිම් එකෙන් දුවන අපිට මඟුල් තුලා දෙක තුනකුත් සෙට් වුණොත් ඉතින් දෙවියන්ගේම පිහිටයි. 

මොකද ඔය මඟුල් ජෝඩුව පැත්තකින් ඉන්දැද්දි ඒකට ආරාධනා ලබන උදවියට ඔය මංගල උත්සව වලට සහභාගී වෙන්න යන්නෙත් සුළුපටු වියදමක් නොවන නිසා. ඔය වියදම් නම් ඉතින් වැඩිපුරම යන්නෙ ගෑණු උදවියට. 

ඔන්න මංගල උත්සවයට ආරාධනාව ලැබෙන්නත් කලින් ඉඳන්ම කනින් කොනින් ආරංචි වෙනවලු අන්න අහවලා බඳින්නයි යන්නෙ කියලා. ඊට පස්සෙ ඉතින් අහවලා මට ඉන්වයිට් කොරයිද කියලා හිත හිත තමයි ඉන්න වෙන්නෙ. එහෙම හිත හිත ඉන්න කාල සීමාවක් නැතුවම ගහෙන් ගෙඩි එන්නැහේ කඩන් පාත් වෙන මංගල ආරාධනාත් තියෙනවා. ඉතින් කොහොමහරි ඔය ආරාධනාවත් ලැබුණයි කියමුකෝ..

ගෑණු උදවියට නම් ඊට පස්සෙ ඉතින් හිතෙන්නෙ ඇඳන් යන්නෙ මොකද්ද කියල තීරණය කරන එක තමයි. ඒ කියන්නෙ ඉතින් "ඔන්න ඔහෙ තියෙන එකක් අඳිනවද එහෙම නැත්තම් අලුත් එකක් ගන්නවද?" කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ. ඉතින් අලුත් එකක් ගන්න යන වියදම අපරාදෙ කියල හිතෙනවනම්, සල්ලි අතිනුත් අමාරුයි නම් තියෙන ඇඳුමක් රිකන්ඩිෂන් කරල තමයි ගන්න වෙන්නෙ. 

වෙඩින් වලට අඳින සාරි හරිම ගණන්. ඒ වගේම ඔය සාරියට මහන හැට්ටෙටත් එක එක විච්චූරණ දාල මහන නිසා ඒකටත් හෙන ගාණක් ගන්නවා.එතකොට ඔය සාරි හැට්ටෙ අපිට ඕනෙ දවසට ගන්න නම් ඊට මාසෙකට කලින්වත් දෙන්න ඕනෙ. ඉතින් ඔය වගේ ජරමර ගොඩයි. 

ඔහොම ඇඳන් යන ඇඳුම තීරණය කළාට පස්සෙ අර බියුටි කචල් වැඩ ටික ගැන බලන්න ඕනෙ. ඔය ඕනෙම වෙඩින් එකකට යන ගෑණු කෙනෙක්ව එදාට අඳුරගන්න සෑහෙන්න අමාරුයි. මොකද සෑහෙන්න බියුටි කචල් වැඩ කිඩ දල මේකප් කරල කොණ්ඩෙ හදල එන නිසා. ඔය වැඩ කිඩ ටික තමන්ටම කර ගන්න බැරි නම් එහෙම සැලූන් අක්කෙක්ගෙ සහය පතන්න වෙනවා. එයාලත් ඔය වගේ වැඩ වලට අස්ප ගණන් ගන්නෙ ඔය වගේ අවස්ථා අනිවාර්‍යයෙන්ම එන බව දන්න නිසයි. 

දැන් ඔය මේකප් වැඩ වලට ගියාම තමන්ට ඕනෙ විදිය කියන්න පුළුවන් නෙ සැලූන් අක්කට. ඒත් ඒ කොහොම කිව්වත් එයා එයාට ඕනෙ විදියට තමයි මේකප් කරන්නෙ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට අන්තිමට හොල්මන් ලුක් එකක් එන්නෙ. ඒ නිසා සමහර වෙලාවට එයාට තර්ජනය කරන්නත් වෙනවාලු. මගෙ යාලුවෙක් කිව්වා එක දවසක් එයා ගියපු සැලූන් එකකින් ෆුල් හොල්මන් මේකප් එකක් දැම්මට පස්සෙ එයා වෙලාවෙම ඒක අයින් කරන්න කියලා එයාට ඕනෙ විදියට මේකප් කරගෙන ආවලු.. 

පිරිමි උදවියට නම් ඔය ඇඳුම් කැඩුම් ප්‍රශ්නෙත්, මේකප් ප්‍රශ්නෙත් නෑ නේ. ( ඒත් දැන් නම් තියෙනවද කොහෙද හැබැයි) ඒ නිසා එයාලට තියෙන්නෙ ඔය වෙඩිමට ගිහින් කන සාක්කුවේ දාගෙන එන එක තමයි. මං එච්චර පිරිමි පාර්ශවේට ඔය වගේ වෙලාවට තියෙන ප්‍රශ්න ගැන දැනුවත් නැති නිසා ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකකින් කියන්න.

ඉතින් අන්තිමට වගේම එන ලොකුම ප්‍රශ්නෙ තමයි මනාල යුවලට දෙන තෑග්ග. සල්ලි දෙනවද, ගිෆ්ට් වවුචර් එකක් දෙනවද, එහෙම නැත්තම් වෙන මොනවහරි තෑග්ගක් දෙනවද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. හැබැයි වැඩියෙන්ම ඔය වෙලාවට වටින්නෙ සල්ලි දෙන එක කියල තමයි ගොඩක් වෙලාවට කියන්නෙ. ඒ නිසා ඔය මංගල උත්සව එහෙම පවත්වපු අයට කියන්න පුළුවන් ඇතිනේ ඒ වගේ වෙලාවට වැඩියෙන්ම වටින්නෙ මොන වගේ තෑග්ගක්ද කියලා. ඒ ගැනත් කියන්න පුළුවන් නම් හොඳයි. 


52 comments:

  1. කව්ද කියන්නෙ පිරිමි අයට මේකප් ඇඩුම් කැඩුම් ප්‍රශ්න නෑ කියලා. හැක්.. තියෙනවා

    ReplyDelete
    Replies
    1. කියන්න බලන්න එහෙනම් ඒ ප්‍රශ්න ටිකක්?

      Delete
    2. ආයි ගලවන්ඩ දතක් නෑ ළමයෝ මං ගාව.. හැක්

      Delete
  2. අපේ ගෙවල් ලග අප්‍රිකන් ටයිප් අක්කා කෙනෙක්ව මේකප් කරලා තිබ්බා අයිස්ලන්තේ ඉදලා ගෙනාව වගේ.
    වයසක නෑදෑයෝ මනමාලිව හෙව්වා කියලත් ආරංචියි

    ReplyDelete
    Replies
    1. පව් වැඩේ හැබැයි.. මනමාලයා මනමාලිව කලින් දැකල තියෙන හින්දම හොඳයි ඉතින්..

      Delete
  3. ටයි කෝටු දානවා නම් වැඩේ ලේසියි.ටයි එක මාරු කොරන්න විතරයි තියෙන්නෙ ගස්ලබ්බ අඳින්නෙ සුදු ශර්ට් එක නිසා. කෙටියෙන්ම ඇඳුම විසඳෙනවා.සරමක් වගේ ඇන්දොත් තමා පොඩ්ඩක් කල්පොනා කොරන්නෙ.
    ගස්ලබ්බත් බැඳපු අලුත නෙව.. යන්න වෙලා තියෙන්නෙ ජෝඩු දාලා...තීන්ත ගාල බස්වල දක්කන්න ඇහැකිය.. හප්පේ..වෙලාවට යන්න නං නෑ ඔය ටිංකරින් කාරයො හින්දා.
    මළගෙවල් වල ගිහින් මිනිය අමතක වෙලා එනව වගේ සමහර වෙඩින් වලදි කපල් එකට කතා කොරන්නත් බැරි වෙනවා... එච්චරකට කලබලේ... නැගිට්ටොත් පුටුව මිසිං..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙනං ගස්ලබ්බට සෑහෙන්න අත්දැකීම් තියෙනවා වගේ නෝනව සැලුන් අක්කල ගාවට එක්ක ගිහින්. අපිටත් ඔය මොකක්හරි ඇඳන් යන්න තියෙනවා නම් හොඳයි අප්පා.. කොහෙද ඉතින්. සාරි බාරි ඇඳන් යන්න එපැයි.

      අපි ළඟදි ගියපු මඟුල් ගෙදරකත් ඔය පුටුව මිසින් සීන් එක උණා නේ.. අන්තිමට ඩෙසර්ට් කන්න වුණේ අඳුරන්නෙ නැති කට්ටිය ගොඩක් මැද්දෙ. :(

      Delete
  4. මැරුණු මිනිස්සු බලන්න යාමට සිතේ කැමැත්තක් ඇතත් මැරෙන්න යන මිනිස්සු බලන්න යාමට ප්‍රිය තාවයක් නොමැත... අක්කාගේ වෙඩින් එකටද යන්න බැරි විය...ඒ වෙඩින් එපා මං යනෝ කියා ඈ පැනලා ගිය බැවිනි..අවුරුදු 18 කින් පමණ පසු මෑතකදි වෙඩින් එකකට ගියෙමි... දන්න අදුරන උදවිය මේකප් නිසාම මලමිනි වගේය... හනික කන සාක්කුවේ දමාගෙන ගෙදර ආවෙමි... ලියුම් කවරය පසුදා කෝට් සාක්කුවේ තියා සොයා ගතිමි...මගේ මඟුල් දා ද එහි යාම ගැන පසුව සලකා බැලිය යුතුය.. කරන රස්සාව සමඟ ඕවා සිම්පල් වැඩය...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හනිමූන් එකට ගියාම මදැයි?

      Delete
    2. මේකප් කළාම මලමිනී වගේ තමයි ගොඩක් වෙලාවට. ඒ ඔය සැලූන් අක්කල එන මනුස්සය ගැන බලන්නෙ නැතුව තමන් ළඟ තියෙන සේරෝම උලන හින්දා...

      සින්බෑඩ් අනිවාර්‍යයෙන්ම ඔයාගෙ වෙඩින් එකට නම් යන්න. නැත්තම් මනමාලිව දෙවනි මනමාලය උස්සන් යයි..

      Delete
  5. මටනම් තියෙන එකම ප්‍රශ්ණෙ ඔය හෝල් ඇතුලට ගියාම දුම් පානය කරන්න නොදෙන එක. ඒක නිසා ගොඩක් වෙඩිං වලට මම යන්නෙ වැඩිම වුණොත් පැයක් ඉඳල එන්න. (ඔය පෝරුව එහෙම ඉවර වෙලා යන එක තමයි හොඳම දේ. පවුලෙ කෙනෙක් නොවේ නම්. ) දාන්නෙ එක ඩ්‍රින්ක් එකයි. කෑම කනවා කියන්නෙ කිසිම තේරුමක් නැතුව බඩ පුරවගෙන කැලරි වැඩි කරගන්න එක එම නිසා කන්නෙ නම් නැහැ. බයිට් එකක් තිබුණොත් ඒ ඇති. ඉන්වයිට් කරන කොටම තෑග්ගක් දෙනවා. එතකොට මොකක් හරි නිසා යන්න බැරි වුණත් අප් සෙට් එකක් නැහැ. එන ආත්මෙත් පිරිමි ආත්මයක්ම ලැබේවා !!!!

    ReplyDelete
    Replies
    1. කල්තියා දැනගත්ත එක හොඳයි :P

      Delete
    2. පැයක් විතර ඉඳල එන එක නම් හොඳයි තමයි. ඒත් ඉතින් ගියාම කියවිල්ලට එහෙම අහු වෙනවනේ.. ඊටත් "අනේ ආපු ගමන් යනවද?" කියයි මඟුල් ගෙදර ඇත්තො..

      ඉයන් කිව්වට ඉතින් ඔය නොබොන ඈයො එහෙම ගොඩක් අය වෙඩින් වලට යන්නෙ රෑටත් එක්කම කාලා එන්නම් කියලනේ..

      Delete
    3. හොඳම වැඩේ කියන්නෙ ගස්ලබු වෙඩින් එකේ බයිට් තීරණය කරලා ඕඩර් කරේ අමධ්‍යප පාප මිත්‍රයො ටික කියහන්කො.. කේටරින් එකේ මැනේජරය උඩ බිම බලනවා මම හොරාට බලං උන්නෙ..

      Delete
    4. එහෙනම් ඉතින් බයිට් කන ඇයෝම බයිට් ටික තීරණේ කරල තියෙන්නෙ. එයාල කන ඒවා ටික එයාලම තීරණේ කරන්න ඕනෙ කියල හිතෙන්න ඇති. මොකෝ ගස්ලබ්බා එදාට බයිට් කනව කියලයැ.

      Delete
  6. කිව්වත් වගේ කාන්තා පාර්ශවයට නම් වෙඩිමකට යන්වා කියන එක ලේසි නෑ.. ;)

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා.. එපා වෙනවා කියන්නෙ හොඳම එකෙන්..

      Delete
  7. ඇයි යකෝ අපිට තියෙන ප්‍රශ්න.. යන්නේ කොහොමද? එන්නේ කොහොමද? වැඩි උනොත් ඉන්නේ කොහෙද? ප්‍රශ්න ගොඩයි!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල...
      බෝනැති එකෙක් හිටයම ඔය ප්‍රශ්න තියෙන්නෙ උට...
      හෙහ්

      Delete
    2. වැඩි වුණොත් නම් හෝල් එක ඉස්සරහ පැදුරක් දාගෙන නිදාගන්න තියෙන්නෙ.. බොන්නේ මොනවද කියල නම් ප්‍රශ්නයක් නැතුව ඇති නේ?

      Delete
  8. වෙඩින් ගැන නං කතා කරන්න එපා... මං ගාව තියේ තැංකු කියල ගහපු කාඩ් මිටියක්ම... හිහි..
    මාසෙකට වෙඩින් දෙක තුනක් වදිනව කියන්නෙම වහ

    ReplyDelete
    Replies

    1. මහේෂ් අය්යට කතා කරන්නෙම මල් කුමාරයට එන්න කියලනෙ ඒකයි :D

      Delete
    2. එතකොට ඉතින් පොකට් එකට තට්ටු වෙනවා තමයි. ඒකනේ ගොඩක්ම හිතට අමාරු.. මාසෙ වියදම් ගාණට කරගන්න බැරි වෙනවා..

      ඇත්තද මේ හංසි කියන්නෙ?

      Delete
  9. සිතූට වෙඩින් දෙක තුනකට අරාධනා ලැබිල වගේ :P දැන් ඉතින් වෙඩින් ඉවර වෙනකන්ම ඔය ඇඳුම් බියුටි කචල් ප්‍රශ්න තමා.සැලෝන් අක්කල අපිව හොල්මන් වගේ අන්දන නිසාම බැරිම තැන දැන් මම ම මොනා හරි උලාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ආරාධනා ලැබුණ ඒවට යන්න බැරි වෙයිද දන්නෙ නෑ අපේ බොස් මගෙ නිවාඩු කැන්සල් කළොත් එහෙම. එහෙම තනියම මොනවහරි උලාගෙන යන එක දාහෙන් සම්පතයි සැලෝන් අක්කල ගාවට යනවට වඩා..

      Delete
  10. ඔව් . අපේ කාන්තා පාර්ශවේට ටිකක් වියදමත් වැඩී. ඒකට යන කාලෙත් වැඩීනේ..

    හැබැයි දැන් සැලූන්වල අක්කලා විතරක් නෙවෙයි සිතූ අයියලත් ඉන්නවානේ...

    ReplyDelete
    Replies
    1. මං නම් තාම අයියලා ඉන්න සැලෝන් එකකට ගිහින් නෑ නිර්මාණි.. වියදම වගේම යන කාලයත් හොඳටම වැඩියි තමයි.. මොනවා කරන්නද ඉතින් නේද? යන්නම එපැයි සමහර ඒවාට..

      Delete
  11. වෙඩිමකට යනවා කියන්නේ වෙඩිමක් ගන්නවාට සමාන වැඩක් සමහරුන්ටනම්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. සමහර ඒවට නම් වෙඩිමක් ගන්නවටත් වඩා වියදම් කරනවා සමහරු.. සාරි වුණත් පුදුම ගණන් නේ..

      Delete
  12. බොන්ඩ තියේනං මොන මේකප්ද පිරිමින්ට!

    ReplyDelete
    Replies
    1. මේකප් දාන් ගියත් වැඩක් නෑ එතකොට! :P

      Delete
  13. http://manogeloka.blogspot.com/2016/05/blog-post.html

    මේවා කතාවෙලා දාපු පෝස්ට් නේද?

    ReplyDelete
    Replies
    1. ඩූඩ් කිව්වට පස්සෙ තමයි ඒ බ්ලොග් එක පැත්තෙ ගියෙත්..

      Delete
  14. හද පානේ ගියාම ඔය මොන වියදමක්වත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා කතාවක්

      Delete
    2. ඇයි බොල ඒක වැරදිද මං අහන්නේ

      Delete
    3. එතකොට ඉතින් අපිට කාල බීලා එන්න චාන්ස් එකක් නැති වෙනවා නේ... :P

      Delete
  15. ඩුඩ්‍ අයියා පෙන්නපු පාරේන් ආවේ.වෙඩින් වලට යනකොට මම නම් ඔය ඇදුම් ගැන ලොකුවට හිතන්නේ නැහැ.හැබැයි ඉතින් වෙන වෙන ප්‍රශ්න නම් එනවා.

    ReplyDelete
    Replies
    1. අර උඩ කමෙන්ට් එකක නාඩියා කියල තිබුණ ප්‍රශ්න ටික ගැන වෙන්න ඇති ඔය කියන්නෙ?

      Delete
  16. මංගල මාසෙ තමයි මගේ උපන්දිනයත්. මාත් බඳින්න කියලා .........................................



    අටපට්ටමක්! හික්ස් !

    ReplyDelete
    Replies
    1. අටපට්ටමට අබ සරණයි!!

      Delete
    2. මෙතූ ඔයා අටපට්ටම බඳින දවසට කාල බීල යන්න කියල අපිටත් ආරාධනා කරනවා නේද?

      Delete
  17. අපේ පවුලෙ උදවිය නම් මගුල් ගෙවල්වල යන්නෙම නැති තරම්.. පස්සෙ වෙලාවක කපල් එක බලලා කතා කරලා එන්න යනවා.ඔය මගුලකදි ඉතින් කපල් එක එක්ක කතා කරන්නවත් වෙලාවක් තියෙනවයැ.ඊට හපන් මනමාලිගෙ පාටත් වෙනස් නොවැ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳ වැඩක් හැබැයි.. නිදහසේ ගිහින් කතා බහ කරල එන්න පුළුවන් නේ..

      මනමාලි නම් සෑහෙන්න වෙනස් අප්පා.. අපි මේ ළඟදි ගිය මගුල් ගෙදරක මනමාලි මට පස්සෙ දවසක දැක්කම අඳුරන්නත් බැරි වුණා..

      Delete
  18. යකඩෝ මගුලකට ගිය කාලයක් මතක නෑ... ඒ හින්දා වියදනුත් නෑ ඒත් මං කම්පනා කලේ මං විතරද එතකොට මගුල් ගෙවල් වල යද්දී මේකප් නොකර යන්නේ
    කියලා... ;)

    ReplyDelete
    Replies
    1. අක්කා මෙහෙ හිටියනම් සෙට් එයි එක දිගට මඟුල් ගෙවල්..

      මූණෙ ඉතින් හඳ වගේ ආවාට වල ගොඩැලි ඔක්කොම තියෙන නිසා ඒවා වහගෙන යනවා ඉතින්..

      Delete
  19. නැචුරල් බියුටි තමයි හොඳම සහ ආර්ථික වශයෙන් ලභාදායිම සිතූ. සරල වෙන තරමට තමයි කොයි දේත් ලස්සන... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒක නම් ඇත්ත තමයි.. :)

      Delete
  20. ඔන්න මටත් මේ වතාවෙ ඔය ප්‍රශ්නෙ ඇවිත් සිතූ. වැලි කෙලියේ ඉඳන් හිටපු යාලුවෙක්ගෙ වෙඩිමක්.තාම අම්මලගෙන් යැපෙන නිසා ප්‍රශ්නෙ බරපතලයි. විදේශාධාරයක්වත් බලාපොරොත්තුවෙන් ඉන්න වෙනව. හිකිස්

    ReplyDelete
    Replies
    1. විදේශාධාරයක් අරන් යන්න එහෙනම් වෙඩිමට. හොඳම යාළුවෙක් නම් නොයා බැහැනේ..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......