Saturday, July 2, 2016

හොස්ටල් කතා: බළල් අවතාරය

පහුගිය කාලෙ බ්ලොග් පැත්තෙ එන්න බැරි වුණාට සමාවෙන්න. හේතුව ඉතින් වැඩ සහ බුකියට වෙලා සිටීම තමයි. කොහොම වුණත් සමාව දෙන්න ඇති කියලා හිතනවා. අදත් ඔන්න හොස්ටල් කතාවක්. 

මේකත් හැබැයි බළලෙක් ගැන. දැන් හිතන්න එපා මේ හොස්ටල් එකේ බළල්ලු විතරයි ද ඉන්නෙ කියලා. තව රිලවු එහෙමත් ඉන්නවා. ඔය දෙගොල්ලොම අපිට හොඳ හැටියට වද දුන්නා හොස්ටල් ඉන්න කාලෙ. ඉතින් මේ තවත් එක් බළල් කතාවක්. 

හොස්ටල් එකේ අපි හිටපු තට්ටුවට උඩ් තට්ටුවේ අපේ යාළුවො කට්ටියක් හිටියා. එයාල ඉතින් ගොඩක් වෙලාවට අපේ කාමරේට ඇවිත් අපිත් එක්ක කතා කර කර ඉන්නවා.. ඔහොම ආව දවසක තමයි අපිට මේ කතාව කිව්වෙ. 

ඒ කාමරේ හිටියෙ යාළුවො තුන් දෙනෙක්. එයාලා තමයි අජිතා, සඳුනි සහ කුමාරි. මේ තුන් දෙනාගෙම ගෙවල් කැම්පස් එකෙන් ගොඩක් දුර. ඉතින් මාසෙකට සැරයක් වගේ තමයි එයාල ගෙදර යන්නෙ. අපි ගෙදර ගිහින් නකොට එයාලටත් එක්ක තඩි බත් එකක් උස්සන් එනවා. මෙහෙම ගෙනාපු බත් කාල කතා බහ කර කර ඉන්න වෙලාවක තමයි මේ කතාව අහන්න ලැබුනෙ. 

අජිතා: දැන් නම් මට අපේ කාමරේ ඉන්නත් බයයි අනේ. 

මම: ඒ මොකද? 

අජිතා: පොඩි අවුලක් ඉතින්. 

රංගි: ඉතින් මොකද්ද කියන්නකො.

අජිතා: කුමාරි ඔයාම කියන්නකො. 

කුමාරි: අපේ කාමරේ ස්කල් එක දාල තියෙන පෙට්ටිය තියෙන්නෙ එළියෙ බැල්කනි එක පැත්තෙ. ඒත් එතන හැමදාම රෑට අමුතු සද්දයක් ඇහෙනවා. 

(ස්කල් එක යනු අපි ඉගෙනීම් කටයුතු සඳහා භාවිතා කරන මිනී ඔළුවයි. හැම කාමරේකම එකක් වගේ තිබ්බා ඕවා)

රංගි: ඉතින්? 

කුමාරි: අපි මුලින්ම එළියට යන්න බයේ හිටියෙ. පස්සෙ දවසක් අපි ඔහ්හොම ගිහින් බැලුවා. එතන පූසෙක් නිදාගන්නවා. ඌ තමයි අර සද්ද කරලා තියෙන්නෙ. 

රංගි: ආ එහෙනම් බය වෙන්න  දෙයක් නෑනෙ? 

කුමාරි: නෑ අනේ. අපිට ඔය සද්ද ඇහෙනකොට බය නිසා අපි ඒ පූසට නිදාගන්න වෙන තැනක කාඩ්බෝඩ් පෙට්ටියක් දාල ඒකට රෙද්දක් දාල හැදුවා. ඒත් මූ නෙවෙයි එතනට යන්නෙ. හැමදාම අර පෙට්ටිය උඩ නිදාගන්නෙ. 

මම: නෑ? 

කුමාරි: නෑ නෙවෙයි අනේ ඔව්! ඊට පස්සෙ බැරිම තැන් අපි ඒ පෙට්ටිය පුටු ගොඩක් උඩින් තිබ්බා. ඒත් මේ පූසා කොහොමහරි එතනට නැගලා එතන නිදාගන්නවා නේ. 

මම: හරිම පුදුමයි නෙ?

කුමාරි: ඒක තමයි. අපි දැන් හිතන් ඉන්නෙ ඌ ඒ ස්කල් එක් අයිතිකාරයගෙ කවුරුහරි කියලා. 

රංගි: ඒක නම් වෙන්න පුළුවන්. අපේ ස්කල් එක තියෙන පෙට්ටිය තියෙන්නෙ ඇඳ යට. මෙහෙටත් එකෙක් ආවොත් තමයි වැඩේ! 

අපි ඔහොම කතා කර කර හිටියා ටික වෙලාවක්. ඊට පස්සෙ යාලුවො තුන් දෙනා ආපහු එයාලගෙ කාමරේට ගියා. 

එදා වැස්ස වගේ තිබ්බ නිසා ටිකක් කරුවල වැටිලයි තිබ්බෙ. කාල බඩ පිරිල නිසා අපි පස් දෙනා කතා වුණේ ටිකක් නිදාගන්න. ඔහොම නින්ද යාගෙන එනකොටම අපි ගැස්සිලා ඇහැරුනේ එක පාරටම ඇහිච්ච සද්දෙකින්.. 

බෙල්ල හරවල බලද්දි දොර ඇරිලා! 

අර කතාව නිසා බය වෙලා හිටපු අපි මූණෙන් මූණ බලාගත්තා. ඒත් එතකොටම ඇහුනෙ අපි කොහෙත්ම අහන්න බලාපොරොත්තු නොවෙච්ච සද්දයක්!

"ඤාව්ව්ව්ව්ව්ව්ව්"

ඊට පස්සෙ ඇහුනෙ මුළු හොස්ටල් එකම දෙවනත් වෙන්න ගෑණු ළමයි පස් දෙනෙක් යටිගිරියෙන් කෑ ගහනවා! 

අපේ ස්කල් එක හොයාගෙනද ඒ ඇවිත් තියෙන්නෙ??

ටික වෙලාවකට පස්සෙයි අපි යථා තත්වයට පත් වුණේ. එදා වැඩිය ළමයි හිටපු නැති දවසක් නිසා අපේ කෑ ගැහිල්ල කාටවත් ඇහිලා තිබ්බෙ නෑ. 

දොර ලොක් වෙලා තිබිලා නැතුව හුළං පාරට ඇරුන දොරෙන් තමයි ඒ හරියෙ සැරි සරන බළල් තඩියෙක් අපේ කාමරේ ඇතුළට ඇවිත් තිබ්බෙ. 

නැතුව ඒ අපේ ස්කල් එක හොයාගෙන ආව අයිතිකාරයෙක් නම් නෙවෙයි..