Wednesday, March 8, 2017

පැටළුණු කවි

"හ්ම්ම්.. අදත් ඉවරයක් නැති වැස්ස.. හැමදාම එළියට බහින්න හදනකොටම තමා මේ කෙහෙල්මල් වැස්සක් පටන් ගන්නෙ..."

ලෙක්චර් එක ඉවර වෙන වෙලාවෙම පටන් ගත්ත චිරි චිරි වැස්ස ගැන සුලාරිගෙ හිතේ ඇති වුණේ නෝක්කාඩුවක්.

"කොහෙද ඉතින්, පණ්ඩිතකමට කුඩයක් වත් ගෙනියනවැයි. තෙමී තෙමී ඇවිත් මෙතන හචිස් හචිස් ගගා ඉන්නවකො.."

ම්ම්ම්... ඒ කවුද? කවුද එහෙම කිව්වෙ?

එහෙම කියන්න කවුරුවත් නෑනෙ. ඒ ඇහුණෙ මීට අවුරුදු ගාණකට කලින් සුලාරි සරසවි ශිෂ්‍යාවක් වෙලා හිටපු කාලෙ සුලාරිගෙ ළඟින්ම හිටපු කටහඬක්.

කටහඬක්? ඉතින් ඒ කටහඬේ අයිතිකාරයාට රූපයක් තිබ්බෙ නැද්ද? රූපයක් නැති කටහඬක් තියෙන්නෙ කොහොමද අනේ? අඩුගානේ මවාගත්ත රූපයක් හරි තියෙන්න එපැයි නේද?

ඒත් මේ කටහඬේ අයිතිකාරයාට රූපයක් තිබුණා. ඒ අර වගේ මවාගත්ත රූපයක් නෙවෙයි. පාරෙ ඇවිදිනකොට ඒ වගේ කෙනෙක් දැක්ක ගමන් ගැස්සිලා, නැවතිලා බලන්න තරම් මතක හිටපු රූපයක්.

ඒ ඉතින් කොච්චර කාලෙකට කලින් ද? දැන් සුලාරි සරසවි ඇදුරුතුමියක්. හැබැයි ප්‍රේමයක ඇදුරුතුමියක් නම් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. ලංකාවෙ ප්‍රසිද්ධ රත්තරන් සම්මානෙ කීප වරක්ම දිනාගත්ත නවකතා සහ කවි පොත් කිහිපයක ඉදිරිපිට ඇගේ නම මුද්‍රණය වෙලා තිබුණා.

"සුලාරි වනිගසේකර අපට බලාපොරොත්තු තබාගත හැකි අන්දමේ නවකතා රචිකාවියක් වූවත් ඇගේ සියලුම නවකතා වල ප්‍රධාන පිරිමි චරිත එකම අච්චුවේ ඒවායි."

පත්තර වලට අලුත් නවකතා පතුරු ගහල විචාර ලියන එක්තරා මහත්මයෙක් සුලාරිගෙ මුල් කාලෙ නවකතාවක් ගැන එසේ ලියා තිබුණා.
ඒත් ඒක කියෙව්වම සුලාරිගෙ මූණට ආවෙ සිනහවක්. "මං ඉතින් වෙන කවුරු දාන්නද මගේ පොත් වලට. කලිසම්, කබා, සරම්, කිමෝනා ඔය ඔක්කොම ඇඳන් ඉන්නෙ එයාම තමයි." සුලාරි හිතුවෙ ඒ හිනාවෙන්මයි.

"ආ උඹ මේ පාර උඹේ අනන්තයෙන් ආව තරු කුමාරයාව චපල බිරිඳකගේ අවංක ස්වාමිපුරුෂයෙක් කරල තියෙන්නෙ. අනේ මන්ද උඹට පිස්සුද කියල. ඔය හීන ලෝකෙන් දැන්වත් ගොඩට වරෙන්." ඇගේ නවකතාවක් කියවපු සමීප මිතුරියක් ඈට දුරකථනයෙන් කිව්වා.
ඔහොම හතර වටෙන්ම ආව බලපෑම් එක්ක ඔහුව ඇගේ නවකතා, කවි වලින් ඈතට තල්ලු වුණා. ඊට පස්සෙ ඈ ලිව්ව පොත් වලට තමා රත්තරන් සම්මානෙ වුණත් හම්බ වුණේ.

දැන් හිතෙනුත් ඈතටම තල්ලු වෙලා ඉන්න ඔහුව අවසන් වරට දැක්කෙ ඇගේ මිතුරු මිතුරියො "සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ...." සිංදුව කිය කියා ඉන්න වෙලාවක. ඈ හිටියේ ඔහුගෙ සමරු පොතේ සටහනක් තබමින්.

වසර විස්සකට පසුව වුණත් ඈට තාමත් ඒ කවිය කට පාඩම්.

අහසටම ඉගිළෙන්න
තරු දෙකක් ඔබ ගන්න
අමාවක රැයක මට
එළිය විතරක් දෙන්න

ඔබ ආයෙ දැකගන්න
මට ආයෙ හිනැහෙන්න
ඔබ ආයෙ දිනෙක යළි
ඒවි දැයි පවසන්න

නිල් අහස සරසන්න
හිරු ආයෙ පායන්න
ඈතටම නොයා මට
පෙනෙන දුරකින් ඉන්න

එහෙම කිව්වට ඉතින් පෙනෙන තියා නොපෙනෙන දුරකින් වත් අද එයා ඉන්නවද කවුද දන්නෙ.

අපේ ජීවිතේට කවුරුහරි එන්නෙ හැමදාටම නතර වෙන්න නොවෙන්න පුළුවන්. ඒත් එයාලට පුළුවන් මුළු ජීවිතේටම ඇති තරම් මතක ගොඩක් දීලා යන්න.

"මැඩම්, වැස්ස අඩු කරල දැන්. මැඩම් ට කාරෙක ගාවට යාගන්න පුළුවන් වෙයි දැන් නම්..."

සුලාරි මේ ලෝකේට ආවෙ දේශන ශාලාව අස්පස් කරන්න ආව නිමලසිරි ගේ හඬින්.

"ඔව් මං දැන් යන්න ඕන." සුලාරි එහෙම කියල නැගිට්ටා. එතකොටයි ඈ දැක්කෙ මෙච්චර වෙලා කුරුටු ගගා හිටපු කොළ කෑල්ල...

හුදෙකළා වූ වෙරළ අබියස
නැගෙන ඒ සිඳු දිය රැළී

වෙහෙස සැනෙකින් ගෙන යාවි
ඒ හමා එන මඳ පවනැලී

සිනහවක් යට සැඟවිලා ගිය
කඳුළු බිඳු ඇත සැලි සැලී

අදත් මං මේ ලියන කවි වල
තවම ඇත නුඹෙ සෙවණැලි.. 

10 comments:

  1. මටත් බැචාලා බැචීලා එක්ක ඒ ගෙවපු අන්තිම දවස්ටික මතක් වුනා

    ReplyDelete
  2. Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  3. පැටලිලා. හොඳටෝම පැටලිලා!

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳටම පැටලිලා....

      Delete
  4. ඔයාගේ මේ ලස්සන කතාවට දිගුවක් ලියන්න අවසර දුන්නාට ගොඩාක් ස්තූතියි සිතූ. මෙන්න ඒ කතාව. :)

    ReplyDelete
  5. ඔව්නේ,ගොඩක් වෙලාවට අපි එකම චරිතය තමයි හැම තැනටම යොදා ගන්නේ.සතුටකදී ,දුකකදී වෙනත් ඕනෑම හැඟීමක් නිරූපණය කරද්දී අපි ආදරේ කරන චරිතයක් අපි නොදැනුවත්වම හෝ ඒ හැමතැනම ඉන්නවා වෙනස් වෙනස් මුහුණුවරින්.

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......