Tuesday, April 4, 2017

ජනේල



ජනේල? ඒ මොනවද? අපි කවදාවත් ජනේලයක් කියන්නෙ මොකද්ද කියල හිතන්නෙ නැති තරම් ඒව සාමාන්‍යයි නේද?

ඒත් ඔය ජනේල කියන ජාතිය තමයි මට මේ ලෝකේ පේන්නම බැරි විකාරම දේ. අනුන්ගෙ ගෙවල් වලට එබිල බලන්න හදල තියෙන එක එක හැඩයේ ජනේල! පුංචි කවුළු, ඒ මදිවට දිගම දිග, උසම උස, එක එක ජාතියේ වීදුරු හයි කරපු, එක එක ජාතියේ තිර රෙදි දාපු ජනේල!

ජනේල තියෙන ගෙවල් වල මිනිස්සු ඔය ජනේල වලින් පේන හරියෙ විකාර සැරසිලි, බිත්තියේ එක එක ඒව එල්ලල තියෙන්නෙ මොන එහෙකටද? ඒ වෙන මිනිස්සුන්ට ජනේල වලින් ඇතුලට එබිල බලන්න අවස්ථාවක් හදල දෙන්න. ඒ කියන්නෙ වෙන අය තමන්ගෙ ජීවිතේ ඇතුලට එබිල බලනවට කැමතියි කියල නේද?  අනේ ඇත්තට? මොකට ඔය ජනේල කියල ජාතියක් හදල තියෙනවා ද මන්දා!

මට හැමදාම ඕනෙ වුණේ කිසිම ජනේලයක් නැති ගෙදරක ජීවත් වෙන්න. ඒත් එහෙම ගෙවල් කොහෙවත් නැහැ. එහෙම ගෙයක් ඕනෙ නම් මටම ජනෙල් නැති ගෙයක් හදා ගන්න වෙනවා. ඒත් තවම ඉගෙන ගන්න ළමයෙක් වෙච්ච මට කොහෙන්ද ගෙවල් හදන්න සල්ලි? 

කැම්පස් එකේ නවතින්න තැනක් හොයද්දි මං කැමති වුණේ නැහැ දෙන්නෙක් ඉන්න කාමර වලට. කාමරේ ඉන්න අනිත් කෙනා දවස තිස්සෙ ජනේල ඇරල තියෙන කෙනෙක් වුණොත් එහෙම? මං කොහොමද හිත හදාගෙන ඒ වගේ කාමරේක නවතින්නෙ? ඒ නිසා වැඩිපුර ගෙවන්න සිද්ධ වුණත් මං තනි කාමරයක් හොයා ගත්තා.

ඒකෙ ජනෙල් ඔක්කොම වහල, එළිය පොඩ්ඩක් වත් ඇතුළට එන්නෙ නැති වෙන්න තද නිල් පාට කර්ටන් දැම්මට පස්සෙ තමයි මගෙ හිතට සැනසීමක් ආවෙ. දැන් ඉතින් මට හිතේ සැනසීමෙන් ඕනෙ තරම් වෙලා මේ කාමරේ ඇතුළට වෙලා ඉන්න පුළුවන්.

මං මතක ඇති තරම් කාලෙක ඉඳල මට ඔය ජනෙල් පෙන්නන්න බැහැ. මං කාමරේක ඉන්නවා නම් ඒ ජනෙල් ඔක්කොම වහල තියන්න ඕනෙ. බස් එකේ දි වුණත් මං ඉඳගන්නෙ ජනේලෙ පැත්තෙ නෙවෙයි අනිත් පැත්තෙ. ළඟින් බහිනවා නම් ඇරෙන්න එහෙම වාඩිවෙන අය නෑ නේද? ඒ විතරක් නෙවෙයි. මං විදුලි සෝපාන වලටත් හරිම කැමතියි. ඒ මොකද දන්නවද? ඒවට ජනෙල් නැහැනෙ.

බස් එකකට නැගපු ගමන් මං කරන්නෙ ඉයර්ෆෝන් එක අරගෙන කනේ ගහගන්න එක. ඊට පස්සෙ පොතකට ඔලුව ඔබාගෙන යන්නෙ වටපිට බලන්නෙ නැතුව. ජනේල වලට වගේම මං මිනිස්සුන්ටත් අකමැතියි. ඒ මිනිස්සු එක්ක කතා කරන්නත් අකමැතියි. 

ඒත් එක දවසක් මගෙ එහා පැත්තෙ, ඒ කියන්නෙ ජනේලෙ පැත්තෙ හිටපු මනුස්සයා මං දිහාම බලන් ඉන්නව දැකල මං ඉයර්ෆෝන් එක අතට ගත්තා. 

"ඇයි?" ඒක අහපු විදිය ටිකක් සැර වැඩියි ද මන්දා.

"ඔයා ඩොක්ටර් හෝල්ඩන් ගේ ඇඩ්වාන්ස්ඩ් ඔපරේටින්ග් සිස්ටම්ස්" ක්ලාස් එකට එනව නේද? එයා ඇහුවා.

"ඔව්. ඔයා කවුද?" 

"මම ටෙඩ්. ඔයා සාරා නේද? මං ඔයාව දැකල තියෙනවා. මං ආර්ට් හිස්ට්‍රි කරන්නෙ." එයා කියාගෙන ගියා.

ඔන්න ඔහොම තමා ටෙඩ් මගෙ ජීවිතේට ආවෙ. එදා බස් එකෙන් බහිනකන් කතා කර කර ගියපු අපි ඊට පස්සෙ ෆේස්බුක් එකෙන් චැට් කරන්න පටන් ගත්තා. එයා මට කතා කළා එයා එක්ක ඩිනර් එකකට යන්න. 

ඔහ්! ඒ කියන්නෙ ඩේට් එකක්. මගෙ පළවෙනි ඩේට් එක! මං මොකද්ද අඳින්නෙ? අර එමරල්ඩ් පාට ගවුම හොඳයි නේද? ආ ඔව් ඔව්. ඒක අඳිනවා. ජුවෙලරි නම් මම කොහොමත් දාන්නෙ නෑනෙ. 

හරියටම සිකුරාදා රෑ 7 වෙනකොට ටෙඩ් මාව එක්ක යන්න ඇවිත් තිබ්බා. එයා ඇඳගෙන හිටියෙත් එමරල්ඩ් පාට ෂර්ට් එකක්. ඒක දැකපු ගමන් අපි දෙන්නටම හිනා ගියා හොඳටම. 

7.30 වෙනකොට අපි රෙස්ටුරන්ට් එකට ඇවිත් හිටියා. එයා ඕඩර් කලේ මගේ ප්‍රියතම ඩිෂ් එකක් වෙච්ච ලොබ්ස්ටර්. තව රෙඩ් වයින්.

ඒව මගෙ කැමතිම කෑම වුණාට මං මුළු වෙලාවෙම බලාගෙන හිටියෙ එයාගෙ ඇස් දිහා. ඒ ඇස් තද කොළ පාටයි. හරියට කොටියෙකුගේ ඇස් වගේ. 

කෑම කාල ඉවර වුණාම එයා කිව්වා එයාගෙ අපාර්ට්මන්ට් එකට යමු කියල. ඒ තව වයින් වීදුරුවක් බොන්න. එයා ගාව හොඳම වයින් බෝතලයක් තියෙනවා කියල තමයි කිව්වෙ. 

මමත් දෙපාරක් හිතන්නෙ නැතූවම හා කිව්වා. එයාගෙ අපාර්ට්මන්ට් එක තිබ්බෙ ඒ ළඟමයි. ඇවිදගෙන යන දුර. 

වයින් ටිකක් බීපු නිසාද මන්දා මං හිටියෙ එයාගෙ ඇඟට බර වෙලා. එයා හිටියෙ මගෙ ඉන වටේ අතක් දාගෙන. 

අපි දෙන්නම ආස කරන සිංදුවක් වෙච්ච "හොටෙල් කැලිෆෝනියා" මහ හයියෙන් ඕෆ් පිච් කිය කිය තමයි ලිෆ්ට් එකේ තුන්වෙනි තට්ටුවට ගියේ. අපි කිව්ව විදිය කොච්චර කැතයි ද කියනව නම් අපි දෙන්නටම ඒකට හොඳටම හිනා.

"පොඩ්ඩක් ඉන්න බබෝ.." එහෙම කියල එයා සාක්කුව අත පත ගාල යතුර හොයාගෙන අපාර්ට්මන්ට් එකේ දොර ඇරියා. 

ඊට පස්සෙ බිත්තිය අතපත ගාල ස්විච් එක දැම්මා..

එක පාරටම මුළු ලෝකෙම කැරකෙන්න පටන් ගත්තා. මං එහෙමම බිත්තියටබට වුණා.

"සාරා... සාරා... ඔයාට මොකද?" ඈත ලෝකෙකින් එහෙම කියනවා වගේ ඇහුණා.

"ජනේල...." මට කියන්න පුළුවන් වුණේ එච්චරයි. 

එකපාරටම ඔක්කොම කළුවර වුණා.....








Sunday, April 2, 2017

හොස්ටල් කතා : මේ වේදිකාව ජීවිතේ අපේ

ඔන්න මකුළු දැල් එහෙම කඩල දාල දූවිලි පිහදාල සිතූ ආයෙමත් බ්ලොග් එක පැත්තෙ ආවා. 

පහුගිය දවසක තිබුන නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට මමත් සහභාගී වුණා නේ. එදා සම්මාන දිනපු හැමෝටම උණුසුම් සුබ පැතුම්. බ්ලොග් ලෝකෙ කට්ටිය දැන හඳුනගෙන කතා බහ කරන්න ලැබුණ අවස්ථාවත් ගොඩක්ම වටිනවා. 

කාලෙකින් ආවෙ හොස්ටල් කතාවක් අරගෙන. මේ ඉතින් හොස්ටල් කතාවක් කිව්වට හොස්ටල් කතාවක්ම නෙවෙයි. කැම්පස් ඉන්න කාලේ මං බොහොම ආසාවෙන් කරපු වැඩක් ගැන තමයි මේ කියන්න යන්නෙ. 

ඒ තමයි වේදිකා නාට්‍ය බැලීම. 

මගෙ කැම්පස් ජීවිතේ වැඩි හරියක් නතර වෙලා හිටියෙ සංඝමිත්තා ශාලාවෙ. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ බොහොම ප්‍රසිද්ධ "වල" පහු කරගෙන තමයි අපි හැමදාම උදේට දේශන වලට යන්නෙ. 

ඉතින් හැමදාම උදේට වලට අලුත් නාට්‍යයක් ඇවිත්ද කියල බලාගෙන තමයි අපි දේශන වලට යන්නෙ. 

හවස 4 වෙනකල්ම අපිට දේශන තියෙනවානෙ, ඒව ඉවර වෙලා ආපහු ඇවිත් ඇඳුම් මාරු කරගෙන , කාල 5.30 වෙනකොට අපි ගිහින් වලේ ඉස්සරහම පේළියේ වාඩි වෙනවා. 

නාට්‍යය පටන් ගන්නෙ 7ට නෙ. ඉතින් මොකද 5.30 ට යන්නෙ? 

ඒ තමයි වලේ ඉස්සරහම පේළිය අල්ලගන්න. නළු නිළියන්ගෙ රඟපෑම්, මූණෙන් හැඟීම් පෙන්වන විදිය හොඳටම බලාගන්න පුළුවන් ඔය ඉස්සරහම පේළියේ ඉන්නකොට. ආ ඇයි තව ප්‍රේක්ෂකාගාරෙන් කෙරෙන බාධා කිරීම් නැතුව හොඳටම නාට්‍යය බලාගන්න පුළුවන් ඔය ඉස්සරහම පේළියේදි. 

ඉතින් අපි 7 වෙනකම් ඔතන වාඩි වෙලා මොනවද කරන්නෙ? එක එක දේවල් කකා නාට්‍ය පුහුණුවීම් බලන එක තමයි. 

වලේ මං බලපු පළවෙනි නාට්‍ය "ගැබ්බර මිනිසා". ඒක නම් කොහෙත්ම හිතට අල්ලන ජාතියේ නාට්‍යයක් නෙවේ. ඒත් වාසනාවකට වගේ මගේ වේදිකා නාට්‍ය බැලිල්ල එපා කරවන්න ඒ පළවෙනි නාට්‍යයට බැරි වුණා. 

වලේ ඉස්සරහම පේළියේ ඉඳගෙන පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකල්ම ඇස් දෙක අහකට ගන්නෙ නැතුව වශී වෙලා බලපු පළවෙනි නාට්‍යය "මනමේ". එදා මනමේ කුමාරියි, කුමාරයයි, වැදි රජතුමයි මමයි විතරක් වලේ හිටියා කියල තමයි නාට්‍යය ඉවර වෙනකල්ම මං හිතාගෙන හිටියෙ. නාට්‍යය ඉවර වුණාම යාළුවො ආපහු යන්න කතා කරද්දි තමයි මං ආපහු පියවි ලෝකෙට ආවෙ. 

එදා ඉදන් අද විශ්ව විද්‍යාලයෙන් සමු අරගෙන එනකල්ම බලපු වේදිකා නාට්‍ය ගණන ඇත්තටම මතක නැහැ. කොහොමහරි ඒ කාලේ වලට ආව නාට්‍ය වලින් නොබල හිටියෙ හරිම පොඩි නාට්‍ය ගණනක්.

කොච්චර නාට්‍ය පිස්සුවක් තිබුණද කියනවනම් අවසන් වසරෙ අධ්‍යයන නිවාඩු කාලෙ පවා "හුණුවටයේ කතාව" බැලුවා යාළුවන්ගෙන් බැනුම් අහ අහ. 

ඒත් කොච්චර නීරස නාට්‍යයක් වුණත් මැදින් නැගිටල නම් ඇවිත් නැහැ. අමාරුවෙන් අන්තිම වෙනකල් ඉඳල ඊට පස්සෙ ඇවිත් බනින එක වෙනම කතාවක් ඉතින්. 

ධාරාණිපාත වැස්සෙ කුඩ ඉහළගෙන, කූඩැල්ලො ඉන්නවද කියල හෝදිසි කරකර නාට්‍ය බලන එක කරදරයක් කියල නම් කවදාවත්ම හිතිල නැහැ. ඊට පස්සෙ ඇවිත් ඇදුම් සෝදන එකයි, වේලන එකයි නම් ඉතින් හරිම කරදරයක් නම් තමයි.

ඔය හැම නාට්‍යයකම වගේ පිටපත් කියවල තිබුනෙ පොඩි කාලෙ. ඉතින් නාට්‍ය බලනකොට ඒ දෙබස් කට පාඩම් වෙලා තිබුන එකත් හිතට ලොකු සතුටක්.

මේ ඔක්කොම මතක් වුනේ අද "සිංහබාහු" නාට්‍යයේ පෝස්ටර් එකක් දැක්කට පස්සෙ. ගිය අවුරුද්දෙ කීවෙනි වතාවට ද කියල මතක නැති වතාවට සිංහබාහු බැලුවට පස්සෙ කිසිම වේදිකා නාට්‍යයක් බැලුවෙ නෑ නේද කියල මතක් වෙලා පපුව හෝස් ගාල ගියා. 

එච්චරකට වැඩ වලින් අපිව හිර කරල. ආයෙමත් දවසක ඉක්මනින්ම වේදිකා නාට්‍යයක් බලන්න ඕනෙ.