Sunday, April 2, 2017

හොස්ටල් කතා : මේ වේදිකාව ජීවිතේ අපේ

ඔන්න මකුළු දැල් එහෙම කඩල දාල දූවිලි පිහදාල සිතූ ආයෙමත් බ්ලොග් එක පැත්තෙ ආවා. 

පහුගිය දවසක තිබුන නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට මමත් සහභාගී වුණා නේ. එදා සම්මාන දිනපු හැමෝටම උණුසුම් සුබ පැතුම්. බ්ලොග් ලෝකෙ කට්ටිය දැන හඳුනගෙන කතා බහ කරන්න ලැබුණ අවස්ථාවත් ගොඩක්ම වටිනවා. 

කාලෙකින් ආවෙ හොස්ටල් කතාවක් අරගෙන. මේ ඉතින් හොස්ටල් කතාවක් කිව්වට හොස්ටල් කතාවක්ම නෙවෙයි. කැම්පස් ඉන්න කාලේ මං බොහොම ආසාවෙන් කරපු වැඩක් ගැන තමයි මේ කියන්න යන්නෙ. 

ඒ තමයි වේදිකා නාට්‍ය බැලීම. 

මගෙ කැම්පස් ජීවිතේ වැඩි හරියක් නතර වෙලා හිටියෙ සංඝමිත්තා ශාලාවෙ. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ බොහොම ප්‍රසිද්ධ "වල" පහු කරගෙන තමයි අපි හැමදාම උදේට දේශන වලට යන්නෙ. 

ඉතින් හැමදාම උදේට වලට අලුත් නාට්‍යයක් ඇවිත්ද කියල බලාගෙන තමයි අපි දේශන වලට යන්නෙ. 

හවස 4 වෙනකල්ම අපිට දේශන තියෙනවානෙ, ඒව ඉවර වෙලා ආපහු ඇවිත් ඇඳුම් මාරු කරගෙන , කාල 5.30 වෙනකොට අපි ගිහින් වලේ ඉස්සරහම පේළියේ වාඩි වෙනවා. 

නාට්‍යය පටන් ගන්නෙ 7ට නෙ. ඉතින් මොකද 5.30 ට යන්නෙ? 

ඒ තමයි වලේ ඉස්සරහම පේළිය අල්ලගන්න. නළු නිළියන්ගෙ රඟපෑම්, මූණෙන් හැඟීම් පෙන්වන විදිය හොඳටම බලාගන්න පුළුවන් ඔය ඉස්සරහම පේළියේ ඉන්නකොට. ආ ඇයි තව ප්‍රේක්ෂකාගාරෙන් කෙරෙන බාධා කිරීම් නැතුව හොඳටම නාට්‍යය බලාගන්න පුළුවන් ඔය ඉස්සරහම පේළියේදි. 

ඉතින් අපි 7 වෙනකම් ඔතන වාඩි වෙලා මොනවද කරන්නෙ? එක එක දේවල් කකා නාට්‍ය පුහුණුවීම් බලන එක තමයි. 

වලේ මං බලපු පළවෙනි නාට්‍ය "ගැබ්බර මිනිසා". ඒක නම් කොහෙත්ම හිතට අල්ලන ජාතියේ නාට්‍යයක් නෙවේ. ඒත් වාසනාවකට වගේ මගේ වේදිකා නාට්‍ය බැලිල්ල එපා කරවන්න ඒ පළවෙනි නාට්‍යයට බැරි වුණා. 

වලේ ඉස්සරහම පේළියේ ඉඳගෙන පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකල්ම ඇස් දෙක අහකට ගන්නෙ නැතුව වශී වෙලා බලපු පළවෙනි නාට්‍යය "මනමේ". එදා මනමේ කුමාරියි, කුමාරයයි, වැදි රජතුමයි මමයි විතරක් වලේ හිටියා කියල තමයි නාට්‍යය ඉවර වෙනකල්ම මං හිතාගෙන හිටියෙ. නාට්‍යය ඉවර වුණාම යාළුවො ආපහු යන්න කතා කරද්දි තමයි මං ආපහු පියවි ලෝකෙට ආවෙ. 

එදා ඉදන් අද විශ්ව විද්‍යාලයෙන් සමු අරගෙන එනකල්ම බලපු වේදිකා නාට්‍ය ගණන ඇත්තටම මතක නැහැ. කොහොමහරි ඒ කාලේ වලට ආව නාට්‍ය වලින් නොබල හිටියෙ හරිම පොඩි නාට්‍ය ගණනක්.

කොච්චර නාට්‍ය පිස්සුවක් තිබුණද කියනවනම් අවසන් වසරෙ අධ්‍යයන නිවාඩු කාලෙ පවා "හුණුවටයේ කතාව" බැලුවා යාළුවන්ගෙන් බැනුම් අහ අහ. 

ඒත් කොච්චර නීරස නාට්‍යයක් වුණත් මැදින් නැගිටල නම් ඇවිත් නැහැ. අමාරුවෙන් අන්තිම වෙනකල් ඉඳල ඊට පස්සෙ ඇවිත් බනින එක වෙනම කතාවක් ඉතින්. 

ධාරාණිපාත වැස්සෙ කුඩ ඉහළගෙන, කූඩැල්ලො ඉන්නවද කියල හෝදිසි කරකර නාට්‍ය බලන එක කරදරයක් කියල නම් කවදාවත්ම හිතිල නැහැ. ඊට පස්සෙ ඇවිත් ඇදුම් සෝදන එකයි, වේලන එකයි නම් ඉතින් හරිම කරදරයක් නම් තමයි.

ඔය හැම නාට්‍යයකම වගේ පිටපත් කියවල තිබුනෙ පොඩි කාලෙ. ඉතින් නාට්‍ය බලනකොට ඒ දෙබස් කට පාඩම් වෙලා තිබුන එකත් හිතට ලොකු සතුටක්.

මේ ඔක්කොම මතක් වුනේ අද "සිංහබාහු" නාට්‍යයේ පෝස්ටර් එකක් දැක්කට පස්සෙ. ගිය අවුරුද්දෙ කීවෙනි වතාවට ද කියල මතක නැති වතාවට සිංහබාහු බැලුවට පස්සෙ කිසිම වේදිකා නාට්‍යයක් බැලුවෙ නෑ නේද කියල මතක් වෙලා පපුව හෝස් ගාල ගියා. 

එච්චරකට වැඩ වලින් අපිව හිර කරල. ආයෙමත් දවසක ඉක්මනින්ම වේදිකා නාට්‍යයක් බලන්න ඕනෙ. 


30 comments:

  1. සුන්දර මතක ^_^ මම සිංහබාහු බලන්න අංජනම් බල බල ඉඳිද්දී ටිකට් ඔක්කොම ඉවර වෙලා හෝල් එක පිරිල. තාම බලන්න බැරිඋනා.අන්තිමට බැලුවෙ හුණු වටයේ කතාව. අපි දවසක යමු ආයෙම වේදිකා නාට්‍යක් බලන්න :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. අපි කට්ටියම දවසක යමුකෝ හොඳ නට්‍යයක් බලන්න.

      කිසිම නාට්‍යයක් බලන්න අංජනම් බලන්න එපා. ඔන්න ඔහෙ බලල දාන්න..

      Delete
    2. බැලීම කෙසේ වෙතත් මේ සෙට් එක සෙට් උනොත්නම් හොඳ නාට්‍යක් පෙන්නයි.

      Delete
    3. එදා නෙළුම් යායෙ අපි පෙන්නුවා වගේ නාට්‍යයක් ද?

      Delete
  2. සිංහබාහු මනමේ මහාසාර තුනම නිකන් බලන්න පුලුවන් උනා කාලයක් මොකද වැදිරජුටයි සිංහයාටයි වර්ථමානයේ පණදෙන්නේ මගේ ගුරුතුමා වන නිසා.
    පසුගිය සෙනසුරාදත් ගම්පහ සිංහබාහු දර්ශණයට ගිහින් ආවා කාලෙකට පස්සේ.
    මනමේ නම් විජය නන්දසිරි මහතාගේ සමය තරම් ලස්සන නැහැ වර්ථමානයේ

    ReplyDelete
    Replies
    1. මං විජය නන්දසිරි මහත්මයා රඟපාපු මනමේ නාට්‍යය නම් බලල නෑ. මං හිතන්නෙ මං බැලුවෙ 2014 අවුරුද්දෙ පෙන්නපු මනමේ නාට්‍යය.. කාලෙකින් බැලුවේ නෑ මනමේ නම්..

      Delete
  3. නාට්‍ය බැලිල්ල මගෙත් කැමතිම වැඩක්...

    ReplyDelete
    Replies
    1. අපි කට්ටියම යමු දවසක නාට්‍යයක් බලන්න....

      Delete
  4. අපි යමු යාලෝස් සැට් වෙලා නාට්ටි බලන්න :\

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අපි කට්ටියම යමු..

      Delete
  5. ඔව්ව වගේද අනේ ගෙදෙට්ට වෙලා බලන්නකො රමන් කුමාර් බල්ලා රඟන මීඊඊඊඊඊඊ යා දරෙයයි.

    ReplyDelete
    Replies
    1. අපේ බල්ලාවත් ඒක බලන්නෙ නෑ අප්පා. ඒක දාපුවම නැගිටල යනව...

      Delete
  6. අතිශයින් කැමති එහෙත් නොවෙන දෙයක් තමයි නාට්‍ය බැලිල්ල. ඇති යන්තං බ්ලොග් එක මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් ලියන්න හිතුවා ආයෙමත්. ඉයන් අංකල් ලංකාවට ආවම නාට්‍යයක් දෙකක් බලල යන්න...

      Delete
  7. මමනං කැමතිම සිංහල ගීත අතර නාට්‍යය ගීත ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රෙමයෙන් මනරංජිත වේ ඉහලින්ම තිබෙන ගීතයක්. වෙනත් ගී වලට වඩා නාට්‍යය ගීත හදවතට සමීප බවක් දක්වනවා

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ නාට්‍ය ගීත එහෙම ඇහිල ඇහිලම තමයි අපිට පුරුදු වෙලා ඇත්තෙ.

      Delete
  8. අම්මෝ ඇති යාන්තන් මෙයා ලියලා..


    මාත් හරිම කැමති නාට්‍ය බලන්න... සිංහබාහු නම් තාම බලල නෑ... දවසක කට්ටියම යමු..
    4- 25 දාට වලේ රාජ කපුරු නාට්‍ය පෙන්නනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.. බැරිම තැන ලියල දැම්ම ඔන්න ඔහේ කියල...

      අපි යමු දවසක කට්ටියම. ඔයා වලට යනවද නාට්‍ය බලන්න. ඉරිසියයි අප්පා.. අපිට ආයෙ එහෙම යන්න අවස්ථාවක් එන්නෙ නෑනෙ.

      Delete
  9. මට යන්න බැරි වුණේ ඒ වලට විතරයි...අපේ පලාතෙ තිබිච්ච හැම වලකටම ගිහින් තියෙනවා...හැබැයි ඒ නාට්ටි බලන්ඩ නෙමෙයි. මාලු අල්ලන්ඩ. අන්න ඒ හින්දම වෙන්ඩැති ඔය කියන වල මට මිස් වෙන්ඩැත්තෙ. දැන් වැටිල ඉන්න වලෙන් ගොඩ එන්ඩ තමා දැන් මං මේ ට්‍රයි කරන්නෙ.....

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒ වලෙන් ගොඩ ඇවිත් මේ වලට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

      ජය වේවා!

      Delete
  10. වේදිකා නාට්‍ය පිස්සියක් මම. මම බලපු ලස්සන නාට්‍ය ගොඩක් තියෙනවා. 'රෝමය ගිනිගනී' මාව හිනැස්සුවට , 'කොලම්බෝ' මාව බිමට දැම්මා. 'මනමේ' කුමාරයා එක්ක අර අස්බැමි උඩ යවන සෙල්ලමත් කළා, 'චරන්දාස්' කියන්නේ මම කැමති කාරනාවක් උනාට මම අදටත් පිස්සුවෙන් බලන්න හිටපු 'ජනාධිපති තාත්තා' එනකල් තාමත් දුකෙන්!!! අනේ මට ඒකට යන්න බැරි උනානේ!!!!!!

    ReplyDelete
    Replies
    1. පිස්සෙක්.. වගේ... පිස්සෙක්.. වගේ...
      බලන් යනකොට තවත් කෙනෙක් ඉඳල තියෙනවනේ.

      Delete
    2. ;-)
      \ජනාධිපති තාත්තා බලන්න යන්න මට ගෙදරින් 'අවසර' දුන්නේ නැහැ. කැම්පස් එකට යන්න 'පර්මිෂන්' ගෙදරින් ඕනේ නිසා. අය්යෝ මම ගෙදර රණ්ඩු කරපු තරමක්. මම හිටියේ ගොන් පොරයට ආපු කුළු මීමා වගේ පිඹ පිඹ.... අම්මා දැන් මතක් කරලා හිනා වෙනවා. නමුත් එදා දැනුන ඒ වේදනාව තාමත් මතකයි

      Delete
    3. ආසාවෙන් නාට්‍යයක් බලන්න යන්න ඉන්නකොට යන්න ලැබුණේ නැති වුණාම හරිම දුකයි තමයි. ඒත් ඉතින් ආයෙ දවසක ඒ වෙනුවට වෙන නාට්‍යයක් හරි බලල හිත හදාගන්න වෙනවා.

      සතුටුයි තව නාට්‍ය පිස්සියෙක් මුණ ගැහීම සම්බන්ධව.

      Delete
  11. Replies
    1. ඔයාට මතකද කසුන් අයියෙ අර දත් රාස්සි? අන්න එයාගෙ.

      Delete
    2. හා මේ දත් රාස්සි ද? කෝ අර දත් සුමිතුරු එක?

      Delete
    3. ඒකත් ලියන්නම් ඉක්මනටම...

      Delete
  12. වේදිකා නාට්‍යක් විදියට අන්තිමට බලලා තිබ්බේ මධුර ජවනිකා.ඒ ස්කෝලේ යන කාලේ.එයින් අවුරුදු ගණනකට පස්සේ බැලුවා විජය නන්දසිරි රඟපාපු "දෙයියොත් දන්නේ නැහැ" නාට්‍යය.ඔන්න ඊට පස්සේ බැලුවා ටෙනිසන් කුරේගේ "සිවම්මා ධනපාල","චරිතේ හොරු අරන්","මල්වඩම් අනවශ්‍යයි"සහා අන්තිමට බැලුවේ "බල්ලොත් එක්ක බැහැ" ඔය "මනමේ,සිංහබාහු"වගේ එව්වා බලන්න නම් ඇත්තටම කම්මැලියි.එත් හොඳ නාට්‍යක් හවූ වුනොත් අනිවාර්යෙන් බලනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් වේදිකා නාට්‍ය කොයිකටත් කැමතියි.ඒත් දැන් නාට්‍ය වල පොඩ්ඩක් දෙපිට කැපෙන කතා වැඩියි වගේ දැනෙනවා...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......