Tuesday, April 4, 2017

ජනේල



ජනේල? ඒ මොනවද? අපි කවදාවත් ජනේලයක් කියන්නෙ මොකද්ද කියල හිතන්නෙ නැති තරම් ඒව සාමාන්‍යයි නේද?

ඒත් ඔය ජනේල කියන ජාතිය තමයි මට මේ ලෝකේ පේන්නම බැරි විකාරම දේ. අනුන්ගෙ ගෙවල් වලට එබිල බලන්න හදල තියෙන එක එක හැඩයේ ජනේල! පුංචි කවුළු, ඒ මදිවට දිගම දිග, උසම උස, එක එක ජාතියේ වීදුරු හයි කරපු, එක එක ජාතියේ තිර රෙදි දාපු ජනේල!

ජනේල තියෙන ගෙවල් වල මිනිස්සු ඔය ජනේල වලින් පේන හරියෙ විකාර සැරසිලි, බිත්තියේ එක එක ඒව එල්ලල තියෙන්නෙ මොන එහෙකටද? ඒ වෙන මිනිස්සුන්ට ජනේල වලින් ඇතුලට එබිල බලන්න අවස්ථාවක් හදල දෙන්න. ඒ කියන්නෙ වෙන අය තමන්ගෙ ජීවිතේ ඇතුලට එබිල බලනවට කැමතියි කියල නේද?  අනේ ඇත්තට? මොකට ඔය ජනේල කියල ජාතියක් හදල තියෙනවා ද මන්දා!

මට හැමදාම ඕනෙ වුණේ කිසිම ජනේලයක් නැති ගෙදරක ජීවත් වෙන්න. ඒත් එහෙම ගෙවල් කොහෙවත් නැහැ. එහෙම ගෙයක් ඕනෙ නම් මටම ජනෙල් නැති ගෙයක් හදා ගන්න වෙනවා. ඒත් තවම ඉගෙන ගන්න ළමයෙක් වෙච්ච මට කොහෙන්ද ගෙවල් හදන්න සල්ලි? 

කැම්පස් එකේ නවතින්න තැනක් හොයද්දි මං කැමති වුණේ නැහැ දෙන්නෙක් ඉන්න කාමර වලට. කාමරේ ඉන්න අනිත් කෙනා දවස තිස්සෙ ජනේල ඇරල තියෙන කෙනෙක් වුණොත් එහෙම? මං කොහොමද හිත හදාගෙන ඒ වගේ කාමරේක නවතින්නෙ? ඒ නිසා වැඩිපුර ගෙවන්න සිද්ධ වුණත් මං තනි කාමරයක් හොයා ගත්තා.

ඒකෙ ජනෙල් ඔක්කොම වහල, එළිය පොඩ්ඩක් වත් ඇතුළට එන්නෙ නැති වෙන්න තද නිල් පාට කර්ටන් දැම්මට පස්සෙ තමයි මගෙ හිතට සැනසීමක් ආවෙ. දැන් ඉතින් මට හිතේ සැනසීමෙන් ඕනෙ තරම් වෙලා මේ කාමරේ ඇතුළට වෙලා ඉන්න පුළුවන්.

මං මතක ඇති තරම් කාලෙක ඉඳල මට ඔය ජනෙල් පෙන්නන්න බැහැ. මං කාමරේක ඉන්නවා නම් ඒ ජනෙල් ඔක්කොම වහල තියන්න ඕනෙ. බස් එකේ දි වුණත් මං ඉඳගන්නෙ ජනේලෙ පැත්තෙ නෙවෙයි අනිත් පැත්තෙ. ළඟින් බහිනවා නම් ඇරෙන්න එහෙම වාඩිවෙන අය නෑ නේද? ඒ විතරක් නෙවෙයි. මං විදුලි සෝපාන වලටත් හරිම කැමතියි. ඒ මොකද දන්නවද? ඒවට ජනෙල් නැහැනෙ.

බස් එකකට නැගපු ගමන් මං කරන්නෙ ඉයර්ෆෝන් එක අරගෙන කනේ ගහගන්න එක. ඊට පස්සෙ පොතකට ඔලුව ඔබාගෙන යන්නෙ වටපිට බලන්නෙ නැතුව. ජනේල වලට වගේම මං මිනිස්සුන්ටත් අකමැතියි. ඒ මිනිස්සු එක්ක කතා කරන්නත් අකමැතියි. 

ඒත් එක දවසක් මගෙ එහා පැත්තෙ, ඒ කියන්නෙ ජනේලෙ පැත්තෙ හිටපු මනුස්සයා මං දිහාම බලන් ඉන්නව දැකල මං ඉයර්ෆෝන් එක අතට ගත්තා. 

"ඇයි?" ඒක අහපු විදිය ටිකක් සැර වැඩියි ද මන්දා.

"ඔයා ඩොක්ටර් හෝල්ඩන් ගේ ඇඩ්වාන්ස්ඩ් ඔපරේටින්ග් සිස්ටම්ස්" ක්ලාස් එකට එනව නේද? එයා ඇහුවා.

"ඔව්. ඔයා කවුද?" 

"මම ටෙඩ්. ඔයා සාරා නේද? මං ඔයාව දැකල තියෙනවා. මං ආර්ට් හිස්ට්‍රි කරන්නෙ." එයා කියාගෙන ගියා.

ඔන්න ඔහොම තමා ටෙඩ් මගෙ ජීවිතේට ආවෙ. එදා බස් එකෙන් බහිනකන් කතා කර කර ගියපු අපි ඊට පස්සෙ ෆේස්බුක් එකෙන් චැට් කරන්න පටන් ගත්තා. එයා මට කතා කළා එයා එක්ක ඩිනර් එකකට යන්න. 

ඔහ්! ඒ කියන්නෙ ඩේට් එකක්. මගෙ පළවෙනි ඩේට් එක! මං මොකද්ද අඳින්නෙ? අර එමරල්ඩ් පාට ගවුම හොඳයි නේද? ආ ඔව් ඔව්. ඒක අඳිනවා. ජුවෙලරි නම් මම කොහොමත් දාන්නෙ නෑනෙ. 

හරියටම සිකුරාදා රෑ 7 වෙනකොට ටෙඩ් මාව එක්ක යන්න ඇවිත් තිබ්බා. එයා ඇඳගෙන හිටියෙත් එමරල්ඩ් පාට ෂර්ට් එකක්. ඒක දැකපු ගමන් අපි දෙන්නටම හිනා ගියා හොඳටම. 

7.30 වෙනකොට අපි රෙස්ටුරන්ට් එකට ඇවිත් හිටියා. එයා ඕඩර් කලේ මගේ ප්‍රියතම ඩිෂ් එකක් වෙච්ච ලොබ්ස්ටර්. තව රෙඩ් වයින්.

ඒව මගෙ කැමතිම කෑම වුණාට මං මුළු වෙලාවෙම බලාගෙන හිටියෙ එයාගෙ ඇස් දිහා. ඒ ඇස් තද කොළ පාටයි. හරියට කොටියෙකුගේ ඇස් වගේ. 

කෑම කාල ඉවර වුණාම එයා කිව්වා එයාගෙ අපාර්ට්මන්ට් එකට යමු කියල. ඒ තව වයින් වීදුරුවක් බොන්න. එයා ගාව හොඳම වයින් බෝතලයක් තියෙනවා කියල තමයි කිව්වෙ. 

මමත් දෙපාරක් හිතන්නෙ නැතූවම හා කිව්වා. එයාගෙ අපාර්ට්මන්ට් එක තිබ්බෙ ඒ ළඟමයි. ඇවිදගෙන යන දුර. 

වයින් ටිකක් බීපු නිසාද මන්දා මං හිටියෙ එයාගෙ ඇඟට බර වෙලා. එයා හිටියෙ මගෙ ඉන වටේ අතක් දාගෙන. 

අපි දෙන්නම ආස කරන සිංදුවක් වෙච්ච "හොටෙල් කැලිෆෝනියා" මහ හයියෙන් ඕෆ් පිච් කිය කිය තමයි ලිෆ්ට් එකේ තුන්වෙනි තට්ටුවට ගියේ. අපි කිව්ව විදිය කොච්චර කැතයි ද කියනව නම් අපි දෙන්නටම ඒකට හොඳටම හිනා.

"පොඩ්ඩක් ඉන්න බබෝ.." එහෙම කියල එයා සාක්කුව අත පත ගාල යතුර හොයාගෙන අපාර්ට්මන්ට් එකේ දොර ඇරියා. 

ඊට පස්සෙ බිත්තිය අතපත ගාල ස්විච් එක දැම්මා..

එක පාරටම මුළු ලෝකෙම කැරකෙන්න පටන් ගත්තා. මං එහෙමම බිත්තියටබට වුණා.

"සාරා... සාරා... ඔයාට මොකද?" ඈත ලෝකෙකින් එහෙම කියනවා වගේ ඇහුණා.

"ජනේල...." මට කියන්න පුළුවන් වුණේ එච්චරයි. 

එකපාරටම ඔක්කොම කළුවර වුණා.....








25 comments:

  1. Replies
    1. ජනේල තමා ඉතින්...

      Delete
  2. පෞද්ගලික අත්දැකීමකුයි පරිවර්ථනයකුයි අච්චාරු කරල අළුත් genre එකක් ද? කොහොම වුණත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ අච්චාරු ශානරයක් තමයි.

      ගොඩක් ස්තූතියි....

      Delete
  3. ජනෙල් වලට කතා කරන්න පුලුවන් උනොත් උන් කියයි උන් අවර්ණ බව. මිනිස්සුයි ජනෙල් වලින් වර්න පෙරන්නෙ. අපූරු රස කෙටිම කෙටි කතාව. රහයි. 😊

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි...

      Delete
  4. Replies
    1. ගොඩක් ස්තූතියි .....

      Delete
  5. ඔයාගෙ කතාවක් කියන්න හදන්නෙ කියලයි හිතුවෙ..
    කොහොම උනත් නියමයි... ලස්සනයි සිතූ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නිර්මාණි....

      Delete
  6. මාත් මේ කතාව කියෙව්වෙ බස් එකේ ජනේලයක් ගාව වාඩිවෙලා....හිහිහි...ලස්සනයි ඒක...වින්ඩෝෆෝබියාව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කෙ. වින්ඩෝෆෝබියාව තියෙන අය නම් ජනේලෙ පැත්තෙ යන්නෙ නෑලු.....

      Delete
  7. මම මේ කඩු , කිනිසි, තෝමර, ගල්කටස්, ඩප්පි ඔක්කොම ටික පොට්ටනියක් බැඳගත්තා පලවෙනි ජේද දෙක කියෝනකොටම! බලනකොට මේ සාරා ළමයනේ....
    මට නම් ජනෙල තමයි ජිවිතේ. ලොකු ජනෙල නැත්තම් මට ඒක ගෙදරක්, කාමරයක් නෙවෙයි.... මට ඕනෙම ත්‍රස්තවාදියෙක් එක්ක ජනේලේ පැත්තට රණ්ඩුවෙන්න පුළුවන්!! බෝඩිමේ නම් ජනෙල් ඇරලා දාල ඉඳල හොඳ පාඩමක් ඉගෙනගත්තා. ඉතින් මගේ පොට්ටනිය සාධාරණයි නේ?

    වයින් බීලත් ඒ අස්සේ ජනේලයක් දැක්ක නේ?? ටින්ටස් ඇණයක් හින්දා යුද්ධයක් පරදින්න ඉඩ තියෙනවා කියන්නේ නිකන්ද?

    ReplyDelete
    Replies
    1. ඔයත් එහෙනම් ටෙඩ් වගේ එක්කෙනෙක් නේද?? සාරා ට එහෙම ඔයා වගේ රූම්මේට් කෙනෙක් හම්බ වුණා නම් ඉඳල ඉවරයි...

      ගොඩක් ස්තූතියි

      Delete
  8. මේක අනුවර්තනයක් ද? පරිවර්තනයක් ද? ස්වතන්ත්‍රයක් ද? කොහොම උනත් හොඳ කතාව.

    Windows බීතිකාව. මේකට හොඳම පිලියම ඉතින් ලිනක්ස් හරි මැක් හරි තමා.

    ReplyDelete
    Replies
    1. මේක ස්වතන්ත්‍ර නිර්මාණයක් කසුන් අයියේ..


      ඔව්. මැක් පැත්තට යන්න ඕනෙ ජනේල අතෑරලා..

      ගොඩක් ස්තූතියි.

      Delete
  9. අපෝ ජනෙල නැති කාමරයක්,පරිප්පු නැති හෝටලයක් වගේ.මම නම් උදේට නැගිට්ට හැටියේ කරන්නේ ජනෙල ඇරලා ඉර එළියට හිතුමනපේ ඇතුලට එන්න ඉඩ දෙන එක.
    ජනෙල වහලා තිබ්බට මොකෝ වේගයෙන් ගලාගෙන යන ලස්සන කතාවක් ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙයා නම් අර ටෙඩ් ගේ ජාතියේ එක්කෙනෙක් වගෙයි. සාරා ආවනම් එහෙම ඉවරයි.

      ගොඩක් ස්තූතියි.

      Delete
  10. නියමයි සිතූ. සෑහෙන සාර්ථක කතාවක් .

    හැබැයි මම දන්න කෙනෙක් ඉන්නවා සිතූ කියල ,එයානම් ජනීල වලට කැමති නැත්තේ , එයා ජනේලේ ලඟට උස නැති නිසා (ලු) හැක

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඉවාන් අයියෙ..

      ආ එයාට එහෙම කියනවා නම් ඔය පාර තොටේ යද්දි දත් සැට් එක පරිස්සම් කර ගන්න ඈ...

      Delete
  11. හැ! මේ බ්ලොග් එක මගේ රෝලේ කලින් තිබ්බනේ.. දැන් හැලිලද අප්ඩේට් නොවුනේ?

    ReplyDelete
    Replies
    1. මාව හලල දැන් එහෙම කියනවා.. :(

      Delete
  12. හපොයි, ජනේල නැති කාමරයක් නිකං හිර කූඩුවක් වගේ නේ. මටනම් එහෙම එකක පැයක් ඉන්න බෑ :D

    ReplyDelete
    Replies
    1. ටෙඩ් වගේ අය ගොඩක් ඉන්නවා නේ...

      Delete
  13. හොඳම හරියෙදි කලන්තෙ දාලනෙ.....හි හි හි හි හි

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......